විවිධ ක්‍රමවේදයන් යටතේ මහජනයාගෙන් මුදල් තැන්පතු බාර ගැනීම

විවිධ ආයතන විසින් නොයෙකුත් ක්‍රමවේදයන් යටතේ මහජනයාගෙන් මුදල් තැන්පතු භාර ගැනීමේ කාර්යයෙහි යෙදෙන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානයට යොමු වී ඇත. මෙවැනි සමහර ක්‍රමවේදයන් ලෙස පොරොන්දු නෝට්ටු, වාණිජ පත්‍ර සහ ණයකර නිකුත් කිරීම මගින් මුදල් එක් රැස් කිරීම සඳහන් කළ හැක. මෙවැනි මූල්‍ය උපකරණ වඩාත් ආකර්ශණීය වීම සඳහා ඉහළ ප්‍රතිලාභ පිරිනැමීම ද දැකිය හැකි ලක්ෂණයකි. තම ව්‍යාපාරික කටයුතු සඳහා අවශ්‍ය අරමුදල් සම්පාදනය කර ගැනීම සඳහා මෙවැනි මාර්ගවලින් මුදල් එක් රැස් කිරීම සිදු වුව ද එම මූල්‍ය උපකරණ කෙතරම් දුරට තම ආයෝජන සඳහා යෝග්‍ය වන්නේ ද යන්න කෙරෙහි ද අවධානය යොමු කළ යුතු ව ඇත.

එහෙත් සමහර ආයතන විසින් මහජනයා වෙත ප්‍රමාණවත් සහ නිවැරදි තොරතුරු හෙළි කිරීමකින් තොර ව මෙබඳු උපකරණ මගින් මහජනයාගෙන් මුදල් තැන්පතු භාර ගන්නා බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිරීක්ෂණය කරනු ලැබ ඇත. මෙවැනි තත්ත්වයක් තුළ මුදල් ආයෝජනය කිරීමේ දී තමන් ආයෝජනය කරනු ලබන මූල්‍ය උපකරණයේ සැබෑ ස්වභාවය, එවැනි උපකරණ නිකුත් කිරීමේ ක්‍රමවේදය අනුගමනය කර ඇත්ද? එකී මූල්‍ය උපකරණවල නීතිමය තත්ත්වය කුමක් ද? සහ එවැනි ආයෝජන වල ඇති අවදානම් තත්ත්වය කුමක් ද යනාදී කරුණු පිළිබඳ ව ඉතා සැලකිල්ලෙන් කරුණු සලකා බැලිය යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කර සිටියි.

තව ද පොරොන්දු නෝට්ටු, වාණිජ පත්‍ර සහ ණයකර නිකුත් කිරීම මගින් මුදල් එක් රැස් කිරීමේ දී අනුගමනය කරනු ලබන ක්‍රමවේදය, එම ආයෝජනයන්ට අදාළ නියමයන් හා කොන්දේසි, ආයෝජනය කරන ලද මුදල් ආපසු ගැනීමට අදාළ ක්‍රියාපටිපාටිය ආදිය බැංකුවක හෝ මුදල් සමාගමක මුදල් තැන්පත් කිරීමට සහ එම මුදල් ආපසු ලබා ගැනීමට අදාළ ක්‍රමවේදයට වඩා වෙනස් වන බව ද ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මහජනතාව වෙත දන්වා සිටී. බැංකුවල සහ මුදල් සමාගම්වල කරනු ලබන තැන්පතු ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ හා ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය යටතේ ආවරණය කෙරේ. එහෙත් පොරොන්දු නෝට්ටු, වාණිජ පත්‍ර සහ ණයකර යටතේ කරනු ලබන ආයෝජන ඉහත තැන්පතු රක්ෂණ ක්‍රමය යටතේ සුදුසුකම් ලබන තැන්පතු ලෙස නො සැලකෙන බැවින් එකී ආයෝජන ආපසු ගෙවීම සම්බන්ධ ව ඇති වන ගැටළු වල දී ආයෝජකයන්ට තැන්පතු රක්ෂණ හිමිකමක් ලබා ගත නො හැක.

තව ද, දැනට පවතින තැන්පතු රක්ෂණ ක්‍රමය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියාමනය කරනු ලබන බැංකුවල හෝ මුදල් සමාගම්වල කරනු ලබන තැන්පතු සඳහා එක් තැන්පත්කරු‍වෙකුට රුපියල් ලක්ෂ හයක (රු.600,000.00) උපරිමයක් දක්වා රක්ෂණ මුදල් ලබා ගත හැක.

ඉහත සඳහන් කරුණු අනුව, ඉහත කී මූල්‍ය උපකරණ යටතේ විවිධ ආයතනවල ආයෝජනය කිරීමේ දී ඉතා සැලකිලිමත් ව කටයුතු කිරීමෙන් වෙහෙස මහන්සියෙන් උපයා ගන්නා ලද මුදල් ආරක්ෂා කර ගත හැකි වනු ඇත.

කෙසේ වෙතත්, එකී මූල්‍ය උපකරණවල ආයෝජනය කිරීමට උනන්දුවක් දක්වන අය එම ආයෝජනයන්ට අදාළ ලියකියවිලි සහ එම ලේඛනවල අඩංගු කොන්දේසි හා නියමයන් ප්‍රතිලාභ ප්‍රමාණයන් මෙන් ම කල් පිරීමේ දී හෝ ඊට පෙර මුදල් ලබා ගැනීමට ඇති හැකියාව ආදී තොරතුරු පිළිබඳ ඉතා පරීක්ෂාකාරී ව, විමසා බැලීමෙන් පසු ව තම ආයෝජන සිදු කළ යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් දන්වා සිටියි.

 

Published Date: 

Friday, December 6, 2019