මුදල් ණයට දී‍ම පිළිබඳ ව මහජනතාව දැනුම්වත් කිරීමයි

මුදල් ණයට දීම සඳහා විද්‍යුත්, මුද්‍රිත හා ඩිජිටල් මාධ්‍ය ඇතුළු නොයෙක් මාධ්‍ය හරහා වෙළෙඳ දැන්වීම් සහ වෙනත් ආකාරයේ ප්‍රචාරණයන් සිදු කෙරෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිරීක්ෂණය කර ඇත. ඒ සම්බන්ධ ව සිදු වන යම් යම් අක්‍රමිකතා පිළිබඳ ව ද අප වෙත පැමිණිලි ලැබී ඇත. වංචා පිළිබඳ චෝදනා, ඉහළ පොළී අනුපාත අය කිරීම, ගනුදෙනුකරුවන්‍ට මුහුණ දීම‍ට සිදු වන හිරිහැර සහ එවැනි මුදල් ණයට දෙන පුද්ගලයින් විසින් ගනුදෙනුකරුවන්ගේ රහස්‍ය තොරතුරු අවභාවිතා කිරීම සම්බන්ධයෙන් වන පැමිණිලි ඒ අතර වේ. සුරැකුමක් සහිත ව හෝ රහිත ව මුදල් පොළියට දීම සිදු කරන හෝ ප්‍රචාරය කරන හෝ නිවේදනය කරන යම් පුද්ගලයෙකු මුදල් ණයට දෙන්නෙකු ලෙස විස්තර කළ හැක. 

පවත්නා නෛතික රාමුවට අනුව, තැන්පතු භාර ගැනීමක් සිදු නො කර මුදල් ණයට දෙන පුද්ගලයින් කිසිදු බලපත්‍ර නිකුත් කිරීමේ හෝ නියාමනය කිරීමේ අධිකාරියකට අයත් නො වේ. ඒ හේතුවෙන්, ශ්‍රී ලංකා මහ බැංකුව, මුදල් අමාත්‍යාංශය සමග මුදල් ණයට දෙන්නන් වෙත බලපත්‍ර ලබා දීම,ඒවා නියාමනය හා අධීක්ෂණය කිරීම සහ ගනුදෙනුකරුවන් ආරක්ෂා කිරීම සඳහා නව නීතියක් සම්පාදනය කිරීමට ක්‍රියාමාර්ග ගෙන ඇත. පෙර කී නීතිය මේ වන වි‍ට කෙටුම්පත් කෙරෙමින් පවතින අතර  නුදුරු අනාගතයේ දී එය බලාත්මක කිරීමට අපේක්ෂා කෙරේ.

ඒ අනුව, මුදල් ණයට දීමේ ව්‍යාපාර පවත්වා ගෙන යෑමේ මුවාවෙන් සි‍දු කෙරෙන වංචාවන්ට ගොදුරු නො වී සිටීමට නිසි උත්සාහයක් හා සැලකිල්ලක් දක්වන ලෙසට මහජනතාවට උපදෙස් දෙනු ලැබේ.  මුදල් ගනුදෙනුවක් සඳහා ගිවිසුමකට එළඹීමට පෙර මහජනතාව ඒ සම්බන්ධ ව සම්පූර්ණ තොරතුරු විමසිය යුතු ය. තව ද, සෑම විටම මුදල් ගනුදෙනුවකට එළඹීමේ දී යම් නියාමන අධිකාරියක් මගින් නියාමනයකට ලක්කෙරෙන ආයතන කෙරෙහි විශ්වාසය තැබීමට උපදෙස් දෙනු ලැබේ.

ඔබ විසින් විමසිය යුතු දේ,

1.මුදල් ණයට දෙන පුද්ගලයාගේ නෛතික තත්ත්වය

(අ)මුදල් ණයට දෙන්නාගේ නම, සමාගමක් නම් හෝ තනි හෝ හවුල් ව්‍යාපාරයක් ලෙස ලියාපදිංචි වී ඇත්නම් ලියාපදිංචි ලිපිනය, ශාඛා පිහිටීම සහ නෛතික ස්වභාවය

(ආ)සභාපති, ප්‍රධාන විධායක නිලධාරී හෝ වෙනත් ප්‍රධාන නිලධාරීන් සම්බන්ධ කර ගත හැකි ආකාර

2.ණය සම්බන්ධ සියළු කරුණු පිළිබඳ ව පැහැදිලි අවබෝධයක් ලබා ගන්න

(අ)ණය කාල සීමාව, පොලී අනුපාතය, පොලී අනුපාතය ගණනය කිරීමේ ක්‍රමවේදය (සරල මාර්ග ක්‍රමය හෝ හීන වන ශේෂ ක්‍රමය)

(ආ)ණය ආපසු ගෙවිය යුතු ආකාරය (වාරික ගෙවිය යුත්තේ වාර්ෂික ව, මාසික ව, සතිපතා හෝ දෛනික ව ද යන වග)

(ඇ)පිටහිටි ශේෂය, හිඟ ප්‍රම‍ාණය සහ ප්‍රමාද ගාස්තු වැනි ගනුදෙනුව සම්බන්ධ විස්තර තහවුරු කරගන්නේ කෙසේ ද යන වග

(ඈ)වාරිකයක් ප්‍රමාද වූ අවස්ථාවක දී ගෙවිය යුතු දඩ පොලී හෝ වෙනත් අමතර ගාස්තු තිබේ ද යන වග

ඔබ විසින් සිදු කිරීමෙන් වැළකී සිටිය යුතු දේ,

1.ඔබ ගනුදෙනු කිරීමට සැරසෙන පාර්ශවය පැහැදිලිව හඳුනාගැනීමෙන් තොරව, ඔබගේ පෙ‍ෟද්ගලික තොරතුරු, විශේෂයෙන් බැංකු ගිණුම් ආශ්‍රිත තොරතුරු ඔවුන් වෙත අනාවරණය කිරීමෙන් වැළකී සිටින්න.

2.ඔබට කියවීමට අපහසු හෝ අවබෝධ කරගැනීමට නොහැකි යමක් සහිත කිසිදු ලේඛනයක‍‍ට අත්සන යෙදීමෙන් වැළකී සිටින්න. එවන් අවස්ථාවක දී, ඒ පිළිබඳ පැහැදිලි කිරීමක් අදාළ මුදල් ණයට දෙන්නාගෙන් ලබාගන්න.

3.හිස් පිටු වලට අත්සන යෙදීමෙන් වැළකී සිටින්න.

4.විශ්වාසී පුද්ගලයෙකු‍ට හැර වෙනත් කිසිවෙකුට ඔබ වෙනුවට පෝරම පිරවීම‍ට ඉඩ දීමෙන් හා ඒ සඳහා ඔබගේ පෞද්ගලික තොරතුරු සැපයී‍මෙන් වැළකී සිටින්න.

5.කඩිමුඩියේ ගිවිසුම් වලට එළඹීමෙන් වැළකී සිටින්න. හොඳින් අධ්‍යනය කර, සිතා බලා තීරණයක් ගැනීම සඳහා ප්‍රමාණවත් කාලයක් යොදවන්න.

 

Published Date: 

Friday, December 6, 2019