ශ්‍රී ලංකා මහ බැංකුව සිය දොළොස්වැනි ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව පවත්වයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වාර්ෂික ව පවත්වනු ලබන එහි ප්‍රධාන සමුළුවක් වන දොළොස් වැනි ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව 2019 වසරේ දෙසැම්බර් මස 09 වැනි දින ජෝන් එක්ස්ටර් ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වීය. මෙම සමුළුව විවිධ විෂය පරාසයන්ට අයත් පර්යේෂකයන් සඳහා තම අදහස් සහ අත්දැකීම් ඉදිරිපත් කිරීම සඳහා සංසදයක් සකස් කර දෙන අතර ම, මෑත කාලීන විවිධ සාර්ව ආර්ථික ප්‍රතිපත්තිමය ගැටලු පිළිබඳ ප්‍රායෝගික සහ සෛද්ධාන්තික පර්යේෂණ සිදු කිරීම දිරි ගැන්වීම අරමුණු කර ගනිමින් පවත්වනු ලබයි.

සමුළුවේ සමාරම්භක දේශනය සිදු කරමින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති දේශමාන්‍ය ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ලොව පුරා මහ බැංකු සහ ප්‍රතිපත්ති සම්පාදකයන් මුහුණ පාන විවිධ වූ ගෝලීය සහ දේශීය අභියෝගතා සාකච්ඡා කළ අතර සාර්ව ආර්ථික හා මූල්‍ය අංශයේ ස්ථායිතාව වඩාත් තහවුරු කිරීම සඳහා මෙම වර්ධනයන්ට අනුවර්තනය වීමේ අවශ්‍යතාව අවධාරණය කළේ ය. එමෙන් ම, ශ්‍රී ලංකාව මුහුණ පාන සාර්ව ආර්ථික ගැටලු පිළිබඳ ව ද ප්‍රතිපත්ති සම්පාදකයින් හට කාලෝචිත ලෙස හිතකර සාර්ව ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමට සහායක් ලෙස අඛණ්ඩ පර්යේෂණ කිරීමේ අවශ්‍යතාව ද අධිපතිවරයා අවධාරණය කළේ ය.

මෙම වසරේ සමුළුවෙහි ප්‍රධාන දේශකයන් වශයෙන් ප්‍රවීණ ජාත්‍යන්තර ආර්ථික විද්‍යාඥයින් දෙදෙනෙකු වන කීයෝ විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරියක් මෙන් ම ආසියානු සංවර්ධන බැංකු ආයතනයේ බාහිර විද්‍යාර්ථියෙකු ලෙස කටයුතු කරන සහ ජපාන මහ බැංකුවේ ප්‍රතිපත්ති මණ්ඩලයේ හිටපු සාමාජිකයෙකු වන මහාචාර්ය සයුරි ශිරායි (Prof. Sayuri Shirai) මහත්මිය සහ ප්‍රංශ මහ බැංකුවේ ගරු අධ්‍යක්ෂ ජනරාල් සහ එහි හිටපු ප්‍රධාන අර්ථශාස්ත්‍රඥ, මාර්ක් ඔලිවියර් ස්ට්‍රෞස් කාන් (Mr. Marc-Olivier Strauss-Kahn) මහතා සහභාගී වූ හ. සමුළුව අමතමින් “මෑත කාලීන මුදල් ප්‍රතිපත්ති සහ අභියෝග” (Recent Monetary Policy Issues and Challenges) යන මැයෙන් සිදු කළ මහාචාර්ය සයුරි ශිරායි මහත්මියගේ දේශනයේ දී, නැගී එන වෙළෙඳපොළ ආර්ථිකයන් මුහුණ දෙන නිදහස් ප්‍රාග්ධන සංචලනය, ස්වායක්ත මුදල් ප්‍රතිපත්තිය හා ස්ථාවර විනිමය අනුපාතික යන එකවර සාක්ෂාත් කර ගත නො හැකි ජාත්‍යන්තර මූල්‍ය ගැටළු ත්‍රිත්වය (International Finance Trilemma) සහ පහළ උද්ධමනය හා දියුණු ආර්ථිකවල නව මුදල් ප්‍රතිපත්ති රාමු ආදී කරුණු ඉස්මතු කරන ලදී. මාක් ඔලිවියර් ස්ට්‍රෞස් කාන් මහතා “මහ බැංකුකරණය: පර්යේෂණ වෙතින් ආර්ථික/මූල්‍ය සාක්ෂරතාව වෙත” (Central Banking: from Research to Economic/Financial Literacy) යන මාතෘකාව යටතේ කළ ඔහුගේ දේශනයේ දී, පර්යේෂණ සහ ආර්ථික හා මූල්‍ය සාක්ෂරතාව ප්‍රවර්ධනය කිරීමේ දී මහ බැංකුව සතු කාර්යභාරය පිළිබඳ ව ඉස්මතු කළ අතර ප්‍රංශ මහ බැංකුවේ අත්දැකීම්ද  හුවමාරු කර ගත්තේ ය.

ශ්‍රි ලංකා මහ බැංකුවේ සහකාර අධිපතිවරු වන කේ එම් එම් සිරිවර්ධන මහතා සහ ටී එම් ජේ වයි පී ප්‍රනාන්දු මහත්මිය සමුළුවේ තාක්ෂණික සැසි වාර දෙකෙහි මුලසුන හොබවනු ලැබූ හ. ක්‍රමවත් ඇගයීම් ක්‍රියාවලියක් (Double-Blind Review Process) තුළින් තෝරා ගත් මුදල් ප්‍රතිපත්තිය, රාජ්‍ය ආයෝජන, ඵලදායීතාව සහ බදුකරණය ඇතුළු කාලීන මාතෘකා යටතේ ඇමෙරිකා එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව සහ ශ්‍රී ලංකා මහ බැංකුව නියෝජනය කරමින් පැමිණ සිටි පර්යේෂකයන් විසින් ඉදිරිපත් කරන ලද පර්යේෂණ පත්‍රිකා හතක් මෙහි දී ඉදිරිපත් කරන ලදී. විශිෂ්ටතම පර්යේෂණ පත්‍රිකාව සඳහා වන ආචාර්ය ඩී එස් විජේසිංහ අනුස්මරණ සම්මානය ශ්‍රී ලංකා මහ බැංකුවේ මායන්ඩි කේසවරාජා මහතා විසින් ඉදිරිපත් කරන ලද “Monetary Policy and Inflation-Output Variability in Developing Economies: Lessons from Sri Lanka” යන පර්යේෂණ පත්‍රිකාව විසින් හිමි කර ගනු ලැබිණි.

සම්පුර්ණ ලිපිය

Published Date: 

Thursday, December 12, 2019