Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

රුපියල අනවශ්‍ය ලෙස අවප්‍රමාණය වීම වැළැක්වීම සඳහා මහ බැංකුව පියවර ගනී

විනිමය අනුපාතිකයේ උච්චාවචනය මෑත දී වැඩිවීම අනවශ්‍ය හා පිළිගත නොහැකි බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අදහසයි. ඒ අනුව, වෙනත් ක්‍රියාමාර්ග අනුගමනය කරන අතරම, මෙතැන් සිට ශ්‍රී ලංකා මහ බැංකුව දේශීය විදේශ විනිමය වෙළඳපොළෙහි මෙම උච්චාවචනය පාලනය කිරීමට සුදුසු ක්‍රියාමාර්ග ගනු ඇත. මෙම ක්‍රියාමාර්ගත් අත්යවශ්ය නොවන ආනයන සීමා කිරීම අඛණ්ඩව පවත්වා ගැනීමත් හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළ දී විනිමය අනුපාතිකය 2020 නොවැම්බර් මස නිරීක්ෂණය කළ එ.ජ. ඩොලරයට රුපියල් 185ට වඩා අඩු මට්ටමකට අතිප්රමාණය වනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව අපේක්ෂා කරයි.

නිල සංචිත ප්‍රමාණවත් මට්ටමක පවතින බව මහ බැංකුව නැවත අවධාරණය කරයි. දැනට දළ නිල සංචිත එ.ජ. ඩොලර් බිලියන 5.6ක් වේ. සංචිත මට්ටම ඉහළ නැංවීම සඳහා මහ බැංකුවේ දේශීය හා විදේශීය හවුල්කරුවන් සමඟ පවත්වන සාකච්ඡා ද සාර්ථකව අවසාන අදියරකට පැමිණෙමින් තිබේ. මෙම අපේක්ෂිත ලැබීම් සහ දේශීය නිෂ්පාදන ආර්ථිකයේ අඛණ්ඩ වර්ධනයන් විදේශ විනිමය ලැබීම් ඉහළ යෑමට හේතු වන අතර, එමගින් ඉදිරි කාලයේදී ද විනිමය අනුපාතිකයේ ස්ථාවරභාවය පවත්වා ගැනීමට මෙන්ම, ශ්‍රී ලංකාවේ ණය වගකීම් නියමිත පරිදි පියවීම සඳහා ද උපකාරී වනු ඇත.

ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය 2020 නොවැම්බර් මාසයේ දී පහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 5.5හි සිට 2020 නොවැම්බර් මාසයේ දී සියයට 5.2 දක්වා පහළ ගියේය. 2019 නොවැම්බර් මාසයේ පැවති ඉහළ පදනම් අගය මගින් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා හේතු විය. මේ අතර, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2020 ඔක්තෝබර් මාසයේ දී පැවති සියයට 10.6හි සිට 2020 නොවැම්බර් මාසයේ දී සියයට 9.4 දක්වා පහළ ගියේය. එසේ වුවද, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2020 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 1.5හි සිට 2020 නොවැම්බර් මාසයේ දී සියයට 1.7 දක්වා ඉහළ ගියේය.

පළාත් දළ දේශීය නිෂ්පාදිතය - 2019

දිවයිනේ වාණිජ සහ පරිපාලන අගනගර ඇතුළත් බස්නාහිර පළාත, අඛණ්ඩව ආර්ථිකයේ පෙරගමන්කරු ලෙස දායකත්වය ලබා දී ඇත. කෙසේ වුවද, පළාත්බද වර්ධන විෂමතාවන්ගේ අඩු වීම පිළිඹිබු කරමින් බස්නාහිර පළාත ද.දේ.නි සඳහා දැක්වූ දායකත්වය, 2019 වසරේදී යම් අඩු වීමක් පෙන්නුම් කර ඇත.

රටේ නාමික දළ දේශීය නිෂ්පාදිතයේ (ද.දේ.නි) ඉහළම දායකත්වය (සියයට 39.1) බස්නාහිර පළාත විසින් ලබා දී ඇත. කෙසේ වෙතත්, සෙසු පළාත්වල දායකත්වයන්හි වර්ධනය හේතුවෙන් මෙම අගය 2018 ට සාපේක්ෂව සියයට 0.5 කින් අඩු වී ඇත. මධ්‍යම පළාත (සියයට 11.5) සහ වයඹ පළාත (සියයට 10.7) පිළිවෙලින් දෙවන සහ තෙවන ඉහළම දායකත්වයන් ලබා දී ඇත.

නව නියෝජ්‍ය අධිපතිවරුන් පත් කරයි

මුදල් මණ්ඩලය විසින් ගරු මුදල් ඇමතිතුමාගේ අනුමැතිය සහිතව සහකාර අධිපතිවරුන් වන ටී. එම්. ජේ. වයි. පී. ප්‍රනාන්දු මහත්මිය සහ එන්. ඩබ්ලිව්. ජී. ආර්. ඩී. නානායක්කාර මහතා 2020 දෙසැම්බර් මස 14 වැනි දින සිට ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති තනතුරට උසස් කරන ලදී.

ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය - 2020 නොවැම්බර්

2020 නොවැම්බර් මාසයේ දී නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ඉහළ ගිය අතර, සේවා අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ඉකුත් මාසයට වඩා වැඩි වුවද එය තවදුරටත් කඩඉම් මට්ටමට වඩා පහළ අගයක පැවතුණි.

නිෂ්පාදන අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2020 ඔක්තෝම්බර් මාසයට සාපේක්ෂව දර්ශකාංක 17.3කින් ඉහළ යමින් 2020 නොවැම්බර් මාසයේ දී 57.6ක අගයක් වාර්තා කරන ලදී. විශේෂයෙන් ආහාර හා පාන වර්ග නිෂ්පාදන අංශයෙහි සහ රෙදිපිළි හා ඇඟලුම් නිෂ්පාදන අංශයේ නව ඇනවුම් වල දක්නට ලැබුණු සැලකිය යුතු ඉහළ යාම මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු විය. තවද. රෙදිපිළි හා ඇඟලුම් නිෂ්පාදන සහ ලෝහ නොවන ඛනිජ ද්‍රව්‍යය නිෂ්පාදන අංශයන්හි ඇතුළුව නිෂ්පාදන උප දර්ශකය ඉහළ යාම සහ සියලුම නිෂ්පාදන අංශයන්හි ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලයෙහි සිදුවූ ඉහළ යාම ද නිෂ්පාදන අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකයේ සමස්ත ඉහළ යාම කෙරෙහි හේතු විය.

විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2020 ඔක්තෝබර්

එ.ජ. ඩොලර් බිලියන 1.0ක කල්පිරුණු ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරය සාර්ථකව ආපසු ගෙවීමත් සමඟ 2020 ඔක්තෝබර් මාසයේ දී ශ්‍රී ලංකාවේ විදේශීය අංශය බාහිර කම්පනයන්ට මුහුණ දීමේ හැකියාව තවදුරටත් පිළිබිඹු කළේය. වෙළඳ හිඟය තවදුරටත් පහත වැටීම, විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ වැඩි වීම සහ එම කරුණුවල ප්‍රතිඵලයක් ලෙස දේශීය විදේශ විනිමය වෙළඳපොළෙහි ඇති වූ ස්ථාවරත්වය යනාදියෙහි බලපෑම මාසය තුළ දී විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය කෙරෙහි හිතකර ලෙස දායක විය. ගෝලීය බොරතෙල් මිල අඩු මට්ටමක පැවතීම සහ රජය විසින් පනවා ඇති ආනයන සීමා කිරීම් හේතුවෙන් ආනයන අඛණ්ඩව අඩු වී ඇති අතර, ඔක්තෝබර් මස මුල සිට නැවත කොවිඩ්-19 රෝගීන් වර්තා වීම හේතුවෙන් දේශීය නිෂ්පාදන සහ උපකාරක සේවාවන් වෙත ඇති වූ බාධාවන් සහ විදේශීය ගැනුම්කරුවන් වෙතින් වූ දුර්වල ඉල්ලුම හේතුවෙන් 2020 ඔක්තෝබර් මාසයේ දී අපනයන පහත වැටුණි. විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂව මෙම මාසය තුළදී ද අඛණ්ඩව වර්ධනයක් වාර්තා කළේය. මූල්‍ය ගිණුම සැලකීමේ දී, 2020 ඔක්තෝබර් මස කොළඹ කොටස් වෙළඳපොළ වෙත විදේශීය ආයෝජන සුළු ශුද්ධ ලැබීමක් වාර්තා කළ අතර, රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළ සුළු ශුද්ධ ගෙවීමක් වාර්තා කළේය.

Pages