Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය 2020 අගෝස්තු මාසයේ දී ඉහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (2013=100)  වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 ජූලි මාසයේ පැවති සියයට 6.1හි සිට 2020 අගෝස්තු මාසයේ දී සියයට 6.2 දක්වා සුළු වශයෙන් ඉහළ ගියේ ය. ආහාර සහ ආහාර නො වන කාණ්ඩයන්හි අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් මේ සඳහා හේතු විය. මේ අතර, 2020 ජූලි මාසයේ දී සියයට 12.9හි පැවති ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය, 2020 අගෝස්තු මාසයේ දී සියයට 13.2 දක්වා ඉහළ ගිය අතර, ආහාර නො වන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2020 ජූලි මාසයේ පැවති සියයට 1.0හි සිට 2020 අගෝස්තු මාසයේ දී සියයට 1.1 දක්වා ඉහළ ගියේ ය

ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය - 2020 අගෝස්තු

2020 අගෝස්තු මාසයේ දී නිෂ්පාදන සහ සේවා යන ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක වර්ධනය විය.

රටේ ව්‍යාපාරික කටයුතු යථාවත් වීම හේතු කොට ගෙන 2020 අගෝස්තු මාසයේ දී නිෂ්පාදන ක්‍රියාකාරකම්වල සිදු වූ අඛණ්ඩ වර්ධනය, නිෂ්පාදන අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකයෙන් පිළිබිඹු විය. නව ඇණවුම් සහ නිෂ්පාදන යන උපදර්ශක දෙක ම 2020 අගෝස්තු මාසයේ දී ඉහළ ගිය අතර සේවා නියුක්තිය උපදර්ශකයේ කැපී පෙනෙන වර්ධනයක් දක්නට ලැබුණි.

විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2020 ජූලි

වෙ‍ළෙඳ භාණ්ඩ ආනයන වියදම අඩු වීම හමුවේ වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම සහ විදේශ සේවා නියුක්තිකයින්ගේ  ප්‍රේෂණ ඉහළ යෑම හේතුවෙන්  2020 වසරේ ජූලි මාසයේ දී ශ්‍රී ලංකාවේ විදේශීය අංශය තවදුරටත් යථා තත්ත්වයට පත් විය. කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ වුව ද, කැපී පෙනෙන වර්ධනයන් කිහිපයක් නිරීක්ෂණය කරන ලදී. වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම 2020 වසරේ ජනවාරි සිට ප්‍රථම වරට ජූලි මාසයේ දී එක්සත් ජනපද ඩොලර් බිලියනය ඉක්මවා ගිය අතර, 2020 වසරේ පෙබරවාරි මාසයෙන් පසු ප්‍රථම වරට වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත ධනාත්මක වර්ධනයක් වාර්තා කළේ ය. අත්‍යවශ්‍ය නො වන භාණ්ඩ ආනයන සීමා කිරීම් තවදුරටත් ක්‍රියාත්මක වීම හමුවේ අපේක්ෂා කළ පරිදි වෙළෙඳ භාණ්ඩ ආනයන පහළ මට්ටමක පැවතියේ ය. 2020 වසරේ ජූලි මාසයේ දී විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණවල සැලකිය යුතු වැඩි වීමක් දක්නට ලැබුණු අතර, එය 2018 ජනවාරි මාසයේ සිට වාර්තා වූ ඉහළ ම මාසික ප්‍රේෂණ ප්‍රමාණයයි. මේ අතර, 2020 වසරේ ජූලි මාසය අවසානය වන විට ඉන්දියානු සංචිත බැංකුව වෙතින් දකුණු ආසියානු කලාපීය සහයෝගීතා මූල්‍ය සංවිධානය (SAARCFINANCE) යටතේ වූ විදේශ විනිමය හුවමාරු පහසුකම ලැබීමත් සමඟ රටේ දළ නිල සංචිත ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 7.1ක් දක්වා ඉහළ ගියේ ය.

'රට පුරා ම LANKAQR' මහජන දැනුම්වත් කිරීමේ වැඩසටහන මාතලේ දී දියත් කරයි

ශ්‍රී ලංකා මහ බැංකුව මුල්‍ය ආයතන සමඟ එක් ව LANKAQR ගෙවීම් යෙදුම භාවිතා කිරීමේ වැඩසටහන “රට පුරාම LANKAQR“ යන තේමාව යටතේ දීපව්‍යාප්ත වැඩසටහනේ පළමු අදියර ලෙස 2020 සැප්තැම්බර් මස 12 වන දින “මාතලේට LANKAQR“ තේමාව මත ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතලේ ප්‍රාදේශීය කාර්යාලයේ දී පැවැත්විණි. මෙම සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා මහ බැංකු අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්. ඩී. ලක්ෂ්මන් මහතා සහභාගී විය. බලපත්‍රලාභී මුල්‍ය ආයතන, ජංගම දුරකථන ආශ්‍රිත ගෙවීම් පද්ධතිවල බලපත්‍රලාභී සේවා සැපයුම්කරුවන් ලෙස ක්‍රියා කරන දුරකථන සමාගම් මෙන් ම ලංකාක්ලියර් (පුද්ගලික) සමාගම් නියෝජිතයන්, මාතලේ ප්‍රදේශයේ ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන් සහ නීතිය බලාත්මක කිරීමේ නිලධාරීන් මෙම උත්සවයට සහභාගී විය. මෙම වැඩසටහනෙහි අරමුණ වුයේ LANKAQR කේත පදනම් කර ගත් ඩිජිටල් ගෙවීම් භාවිතය දිරිමත් කිරීම සහ එමගින් පාරිභෝගිකයාට, ව්‍යාපාරිකයාට සහ ආර්ථිකයට ලැබෙන ප්‍රතිලාභ පිළිබඳ ව මහජනතාව දැනුම්වත් කිරීමයි.

"ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ සංඛ්‍යාන - 2020" ප්‍රකාශනය නිකුත් කිරීම

ශ්‍රී ලංකා මහ බැංකුවේ, වාර්ෂික ප්‍රකාශනයක් වන “ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ සංඛ්‍යාන - 2020” මහජනතාවගේ පරිශීලනය සඳහා දැන් නිකුත් කර ඇත.

මෙම වසරේ දී, ශ්‍රී ලංකා මහ බැංකුවේ 70 වැනි සංවත්සරයට සමගාමීව සංඛ්‍යාන දෙපාර්තමේන්තුව විසින් මෙම ප්‍රකාශනයේ අන්තර්ගතය, පරිශීලනය වඩාත් පහසු වන ලෙස නැවත පෙළගස්වන ලද අතර, තවත් සංඛ්‍යාන ප්‍රකාශනයට එක් කිරීමට ද කටයුතු කරන ලදී. ඒ අනුව, නව අනුවාදයේ සංඛ්‍යාන වගු ක්ෂේත්‍ර අටක් යටතේ වර්ගීකරණය කර ඇත. එනම්, 'ජාතික ගිණුම්', ආර්ථික හා සමාජ යටිතල පහසුකම්', 'මිල, වැටුප් සහ සේවා නියුක්තිය', 'විදේශ වෙළඳාම හා මූල්‍ය', 'රාජ්‍ය මූල්‍ය', 'මුදල් සහ ප්‍රාග්ධන වෙළඳපොළ','මුදල් අංශය' සහ අනෙකුත් රටවල සංඛ්‍යාන වශයෙනි.

මුද්‍රිත සහ වෙබ් යන මාධ්‍ය දෙකෙන්ම ලබා ගත හැකි මෙම ප්‍රකාශනය, සමාජ හා ආර්ථික සංඛ්‍යාන පිළිබඳව උනන්දු වන ඕනෑම අයෙකුට ප්‍රයෝජනවත් වනු ඇත.

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය 2020 අගෝස්තු මාසයේ දී පහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100) ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 ජූලි මාසයේ පැවති සියයට 4.2හි සිට 2020 අගෝස්තු මාසයේ දී සියයට 4.1 දක්වා පහළ ගියේය. 2019 අගෝස්තු මාසයේ පැවති ඉහළ පදනම් අගය හේතුවෙන් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු විය. ආහාර කාණ්ඩයෙහි ලක්ෂ්‍යමය උද්ධමනය 2020 ජූලි මාසයේ පැවති සියයට 10.9හි සිට 2020 අගෝස්තු මාසයේ දී සියයට 12.3 දක්වා ඉහළ ගියේය. එසේ වුවද, ආහාර නොවන කාණ්ඩයෙහි ලක්ෂ්‍යමය උද්ධමනය 2020 ජූලි මාසයේ පැවති සියයට 1.5හි සිට 2020 අගෝස්තු මාසයේ දී සියයට 0.8 දක්වා පහළ ගියේය.

වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන කො.පා.මි දර්ශකයෙහි වෙනස, 2020 අගෝස්තු මාසයේ දී සියයට 4.8ක් ලෙස නොවෙනස්ව පැවතුණි.

Pages