කො.පා.මි.ද මත පදනම් වූ උද්ධමනය 2020 දෙසැම්බර් මාසයේ දී සියයට 4.2 දක්වා සුළු වශයෙන් ඉහළ යන ලදී

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 නොවැම්බර් මාසයේ පැවති සියයට 4.1හි සිට 2020 දෙසැම්බර් මාසයේ දී සියයට 4.2 දක්වා සුළු වශයෙන් ඉහළ ගියේය. ආහාර සහ ආහාර නොවන යන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ ඉහළ යෑම් මේ සඳහා හේතු විය. මේ අතර, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2020 නොවැම්බර් මාසයේ පැවති සියයට 10.3හි සිට 2020 දෙසැම්බර් මාසයේ දී සියයට 9.2 දක්වා පහළ ගියේය. එසේ වුවද, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2020 නොවැම්බර් මාසයේ පැවති සියයට 1.6හි සිට 2020 දෙසැම්බර් මාසයේ දී සියයට 2.0 දක්වා ඉහළ ගියේය.

වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන කො.පා.මි දර්ශකයෙහි වෙනස 2020 දෙසැම්බර් මාසයේ දී අඛණ්ඩව තෙවන මාසයටත් සියයට 4.6හි නොවෙනස්ව පැවතුණි.

2020 දෙසැම්බර් මාසයේ දී කො.පා.මි. දර්ශකයෙහි මාසික වෙනස සියයට 0.66ක් ලෙස වාර්තා විය. ආහාර සහ ආහාර නොවන යන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ ඉහළ යෑම් මේ සඳහා හේතු විය. තවද, 2020 දෙසැම්බර් මාසයේ දී ආහාර සහ ආහාර නොවන කාණ්ඩවල මාසික වෙනස්වීම් පිළිවෙළින්, සියයට 0.45ක් සහ සියයට 0.22ක් ලෙස වාර්තා විය. ඒ අනුව, 2020 දෙසැම්බර් මාසයේ දී ආහාර කාණ්ඩයෙහි පොල්, එළවලු සහ සහල් මිල ගණන් ඉහළ ගියේය. මේ අතර, ප්‍රධාන වශයෙන්, ප්‍රවාහන (බස් ගාස්තු) සහ සෞඛ්‍යය (පෞද්ගලික වෛද්‍ය ගාස්තු) යන උපකාණ්ඩවල දක්නට ලැබුණු මිල ඉහළ යෑම් හේතුවෙන්, ආහාර නොවන කාණ්ඩයෙහි අයිතමවල මිල ගණන්හි ඉහළ යෑමක් 2020 දෙසැම්බර් මාසයේ දී දක්නට ලැබුණි.

ආර්ථිකයෙහි යටිදැරි උද්ධමනය නිරූපණය කරන වාර්ෂික ලක්ෂ්‍යමය මූලික උද්ධමනය, 2020 නොවැම්බර් මාසයේ දී පැවති සියයට 3.0හි සිට 2020 දෙසැම්බර් මාසයේ දී සියයට 3.5 දක්වා ඉහළ ගියේය. එසේ වුවද, වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය 2020 නොවැම්බර් මාසයේ දී පැවති සියයට 3.2හි සිට 2020 දෙසැම්බර් මාසයේ දී සියයට 3.1 දක්වා සුළු වශයෙන් පහළ ගියේය.

සම්පුර්ණ ලිපිය

Published Date: 

Thursday, December 31, 2020