විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2020 ඔක්තෝබර්

එ.ජ. ඩොලර් බිලියන 1.0ක කල්පිරුණු ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරය සාර්ථකව ආපසු ගෙවීමත් සමඟ 2020 ඔක්තෝබර් මාසයේ දී ශ්‍රී ලංකාවේ විදේශීය අංශය බාහිර කම්පනයන්ට මුහුණ දීමේ හැකියාව තවදුරටත් පිළිබිඹු කළේය. වෙළඳ හිඟය තවදුරටත් පහත වැටීම, විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ වැඩි වීම සහ එම කරුණුවල ප්‍රතිඵලයක් ලෙස දේශීය විදේශ විනිමය වෙළඳපොළෙහි ඇති වූ ස්ථාවරත්වය යනාදියෙහි බලපෑම මාසය තුළ දී විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය කෙරෙහි හිතකර ලෙස දායක විය. ගෝලීය බොරතෙල් මිල අඩු මට්ටමක පැවතීම සහ රජය විසින් පනවා ඇති ආනයන සීමා කිරීම් හේතුවෙන් ආනයන අඛණ්ඩව අඩු වී ඇති අතර, ඔක්තෝබර් මස මුල සිට නැවත කොවිඩ්-19 රෝගීන් වර්තා වීම හේතුවෙන් දේශීය නිෂ්පාදන සහ උපකාරක සේවාවන් වෙත ඇති වූ බාධාවන් සහ විදේශීය ගැනුම්කරුවන් වෙතින් වූ දුර්වල ඉල්ලුම හේතුවෙන් 2020 ඔක්තෝබර් මාසයේ දී අපනයන පහත වැටුණි. විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂව මෙම මාසය තුළදී ද අඛණ්ඩව වර්ධනයක් වාර්තා කළේය. මූල්‍ය ගිණුම සැලකීමේ දී, 2020 ඔක්තෝබර් මස කොළඹ කොටස් වෙළඳපොළ වෙත විදේශීය ආයෝජන සුළු ශුද්ධ ලැබීමක් වාර්තා කළ අතර, රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළ සුළු ශුද්ධ ගෙවීමක් වාර්තා කළේය. ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරය ආපසු ගෙවා තිබියදීත් ශ්‍රී ලංකාව 2020 ඔක්තෝබර් අවසන් වන විට එ.ජ. ඩොලර් බිලියන 5.9ක දළ නිල සංචිත ප්‍රමාණයක් පවත්වාගෙන ගියේය. මේ අතර, දේශීය විදේශ විනිමය වෙළඳපොළ වෙත වූ ශුද්ධ ලැබීම් විනිමය අනුපාතිකයට ඇති පීඩනය ලිහිල් කළ අතර, ඒ හේතුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවට විදේශ විනිමය අවශෝෂණය කර ගැනීමට අවකාශ සැලකුණි. විදේශීය අංශයේ ප්‍රවණතාවයන් පිළිබිඹු කරමින්, 2020 ඔක්තෝබර් මාසය තුළ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අතිප්‍රමාණය විය.

සම්පුර්ණ ලිපිය

Published Date: 

Monday, December 14, 2020