Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

කොවිඩ්-19 තෙවැනි රැල්ලෙන් බලපෑමට ලක්වූ ව්‍යාපාර සහ පුද්ගලයින් සඳහා වන සහන යෝජනා ක්‍රමය

කොවිඩ්-19 ව්‍යසනයේ තෙවැනි රැල්ල නිසා බලපත්‍රලාභී බැංකුවල ණය ගනුදෙනුකරුවන් විසින් මුහුණපා ඇති දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් බලපෑම‌ට ලක්වූ ණය ගනුදෙනුකරුවන් හට පහත සඳහන් සහනයන් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු (මින් ඉදිරියට බලපත්‍රලාභි බැංකු ලෙස හැඳින්වෙන) වෙත දන්වා ඇත.

කො.පා.මි.ද. මත පදනම් වූ උද්ධමනය 2021 මැයි මාසයේ දී සියයට 4.5 දක්වා ඉහළ යන ලදී

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 අප්‍රේල් මාසයේ පැවති සියයට 3.9හි සිට 2021 මැයි මාසයේ දී සියයට 4.5 දක්වා ඉහළ ගියේය. ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ ඉහළ යෑම් මේ සඳහා හේතු විය. මේ අතර, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 අප්‍රේල් මාසයේ පැවති සියයට 9.0හි සිට 2021 මැයි මාසයේ දී සියයට 9.9 දක්වා ඉහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 අප්‍රේල් මාසයේ පැවති සියයට 1.8හි සිට 2021 මැයි මාසයේ දී සියයට 2.2 දක්වා ඉහළ ගියේය.

වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන කො.පා.මි. දර්ශකයෙහි වෙනස 2021 මැයි මාසයේ දී සියයට 3.9හි නොවෙනස්ව පැවතුණි.

ජා.පා.මි.ද. මත පදනම් වූ උද්ධමනය 2021 අප්‍රේල් මාසයේ දී ඉහළ යන ලදී

ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 මාර්තු මාසයේ පැවති සියයට 5.1හි සිට 2021 අප්‍රේල් මාසයේ දී සියයට 5.5 දක්වා ඉහළ ගියේය. 2020 අප්‍රේල් මාසයේ පැවති පහළ පදනම් අගය මගින් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු විය. මේ අතර, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 මාර්තු මාසයේ දී පැවති සියයට 8.8හි සිට 2021 අප්‍රේල් මාසයේ දී සියයට 9.7 දක්වා ඉහළ ගිය අතර ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 මාර්තු මාසයේ පැවති සියයට 2.0හි සිට 2021 අප්‍රේල් මාසයේ දී සියයට 2.2 දක්වා ඉහළ ගියේය.

වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජා.පා.මි. දර්ශකයෙහි වෙනස, 2021 අප්‍රේල් මාසයේ දී සියයට 5.3හි නොවෙනස්ව පැවතුණි.

සංචරණ සීමා මත ශ්‍රී ලංකා මහ බැංකුවෙහි සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුවෙහි සේවා දුරස්ථව/ප්‍රාදේශීයව ලබා දීම

රට තුළ පවතින සංචරණ සීමාවන් යටතේ කොළඹ ප්‍රධාන කාර්යාලයට හා මහ බැංකුවෙහි ප්‍රාදේශීය කාර්යාලවලට නොගොස් සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුවෙන් ඉටු කරගත යුතු සේවා කටයුතු තැපෑලෙන්, විද්‍යුත් තැපෑලෙන්, අන්තර්ජාලය මගින් හෝ වාණිජ්‍ය බැංකු ශාඛාවක් මගින් කර ගැනීමට දැන් හැකියාව තිබේ.

ආර්ථිකය තිරසාරව යථා තත්ත්වයට පත්වීම සඳහා සහාය වීමට ශ්‍රී ලංකා මහ බැංකුව සිය ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය අඛණ්ඩව පවත්වා ගනියි

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2021 මැයි මස 19 වැනි දින පැවති රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 4.50 සහ සියයට 5.50 ලෙස දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යෑමට තීරණය කළේය. දේශීය සහ ගෝලීය වශයෙන් වන සාර්ව ආර්ථික තත්ත්වයන්, සහ අපේක්ෂිත වර්ධනයන් මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් මණ්ඩලය මෙම තීරණයට එළඹුණි. අඩු උද්ධමන වාතාවරණයක් තුළ හා මනාව පාලනය වූ උද්ධමන අපේක්ෂා සහ කොවිඩ්-19 වසංගතයේ තුන්වන රැල්ල මගින් ඇති කරන ලද නව අභියෝග මධ්‍යයේ ආර්ථිකය තිරසාර ලෙස යථා තත්ත්වයට පත්වීම සඳහා සහාය වීමට දැනට පවතින ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය පවත්වාගෙන යෑමට මුදල් මණ්ඩලය කැපවී සිටියි.

මූල්‍ය බුද්ධි ඒකකය විසින් 2021 පළමු වන කාර්තුව තුළදී මූල්‍ය ආයතන සඳහා දණ්ඩන පැනවීම

2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 19 (1) සහ 19 (2) වගන්ති මගින් පැවරී ඇති බලතල අනුව, මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ ප්‍රතිපාදනවලට අනුකූල නොවන ලෙස ක්‍රියා කරන ආයතන සඳහා මූල්‍යමය දණ්ඩන පනවනු ලැබේ. මූල්‍ය ආයතනයක් හෝ නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාරයක් විසින් සිදුකරන අදාළ අනුකූල නොවන කටයුතුවල ස්වභාවය හා බැරෑරුම්කම සැලකිල්ලට ගෙන මෙම දණ්ඩන නියම කළ හැකිය.

ඒ අනුව, රටේ මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ නියාමන ආයතනය ලෙස මූල්‍ය බුද්ධි ඒකකය විසින් මූල්‍ය ආයතනවල අනුකූලතාව බලාත්මක කිරීම සඳහා 2021 ජනවාරි 01 සිට 2021 මාර්තු 31 දක්වා කාලය තුළ පනවන ලද සමස්ත දඩ මුදල රුපියල් මිලියන 4.0 කි.

Pages

නිවේදන