Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් දැඩි කරයි

බාහිර කම්පනවල දැඩි බව සහ දේශීය ආර්ථික කටයුතු සඳහා අඛණ්ඩව බාධා ඇතිවීම් සැලකිල්ලට ගනිමින්, එවැනි ආර්ථික තත්ත්වයන්ට මුහුණ දීම සඳහා සාම්ප්‍රදායික සහ සාම්ප්‍රදායික නොවන ක්‍රියාමාර්ග ඇතුළත් ප්‍රතිපත්ති මාලාවක් සහ සමස්ත ආර්ථිකයට බලපානු ලබන අනෙකුත් ක්‍රියාමාර්ග අත්‍යවශ්‍ය බව මුදල් මණ්ඩලයේ අදහස විය.  

ඒ අනුව, ගෝලීය මෙන්ම දේශීය වශයෙන් පවත්නා සහ අපේක්ෂිත සාර්ව ආර්ථික ප්‍රවණතා මනාව සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2022 මාර්තු මස 03 වැනි දින පැවති රැස්වීමේදී 2022 ජනවාරි මාසයේදී ගන්නා ලද ස්ථාවරය තවදුරටත් අවධාරණය කොට පවත්වාගෙන යෑමට තීරණය කළ අතර පහත සඳහන් ක්‍රියාමාර්ග ගන්නා ලදී:

මහ බැංකුව අනවසර විදේශ මුදල් හුවමාරු සිදුකරන මධ්‍යස්ථාන සහ පුද්ගලයින් පිළිබද තොරතුරු මහජනතාවගෙන් ඉල්ලා සිටී

ශ්‍රී ලංකාව තුළ විදේශ මුදල් මිලදීගැනීම, අලෙවිකිරීම හා හුවමාරුව සඳහා අවසරය ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුමත බලපත්‍රලාභී බැංකු හා බලයලත් මුදල් හුවමාරු කිරීමේ ආයතන සඳහා පමණි.

ඒ අනුව, විදේශ මුදල් මිලදීගැනීම, විකීණීම හෝ හුවමාරු කිරීම අවසරලත් බැංකුවක් හෝ අවසරලත් මුදල් හුවමාරු කිරීමේ ආයතනයක් හරහා පමණක් කළ යුතුවේ.

ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය - 2022 ජනවාරි

නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2022 ජනවාරි මාසයේ දී 58.7ක අගයක් වාර්තා කරමින් 2021 දෙසැම්බර් මාස‍ය‍ට සාපේක්ෂ ව දර්ශකාංක 0.6කින් ඉහළ ගියේ ය. මේ සඳහා ප්‍රධාන වශයෙන් නව ඇණවුම් සහ නිෂ්පාදන ඉහළ යෑමත් සේවා නියුක්තිය යථා තත්ත්වයට පත් වීමත් හේතු විය. තව ද, තොග මිල දී ගැනුම් ඉහළ ගිය අතර ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගත වන කාලය ද පෙර මාසයට සාපේක්ෂ ව වැඩි විය.

විශේෂයෙන් රෙදිපිළි හා ඇඟලුම් නිෂ්පාදන අංශයේ සහ ආහාර හා පාන නිෂ්පාදන අංශයේ නව ඇණවුම්, නිෂ්පාදන සහ තොග මිල දී ගැනුම්වල දක්නට ලැබුණු ඉහළ යෑම නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකයේ සමස්ත ඉහළ යෑම කෙරෙහි ප්‍රධාන වශයෙන් දායක විය. සේවා නියුක්ති උප දර්ශකය 2022 ජනවාරි මාසයේ දී යහපත් වර්ධනයක් පෙන්නුම් කළ ද රෙදිපිළි හා ඇඟලුම් නිෂ්පාදන අංශය වෙත සේවකයින් ආකර්ෂණය කර ගැනීමේ අපහසුව පිළිබිඹු කරමින් එම අංශයේ සේවා නියුක්ති උප දර්ශකය තවදුරටත් පහළ අගයක පැවතුණි. මේ අතර, නව ඇණවුම් සහ නිෂ්පාදන ඉහළ යෑමට සමගාමී ව තොග මිල දී ගැනුම් වර්ධනය විය.

ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර සෘජු නිකුතුව ඔස්සේ රැස් කළ අරමුදල්

ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර තුළ ආයෝජන දිරිමත් කිරීම සඳහා විවිධ ක්‍රියාමාර්ග ශ්‍රී ලංකා මහ බැංකුව විසින් හඳුන්වා දෙන ලදී. එම ක්‍රියාවන්හි සාර්ථකත්වය පෙන්නුම් කරමින් 2022 ජනවාරි මස 01 වනදා සිට පෙබරවාරි මස 15 වනදා වනවිට එක්සත් ජනපද ඩොලර් මිලියන 111.5ක අරමුදලක් ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර සෘජු නිකුතුව ඔස්සේ රැස් කර ගැනීමට හැකි විය.

ඉහත සඳහන් කළ කාලය තුළ සිදු කළ ආයෝජනයන්හි පරිණත කාලයන් මාස 3 සිට වසර 5 දක්වා කාල පරාසයක විහිදුණු අතර, කුඩා පරිමාණ මෙන්ම මහා පරිමාණ සුදුසුකම් ලත් ආයෝජකයන් ආයෝජනය කිරීමට පෙළඹුණි. විදේශයන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලවල සහයෝගය ඇතිව ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර තුළ ආයෝජනය කිරීමට, ඒ් සඳහා සුදුසුකම් ලත් ආයෝජකයින් දිරි ගැන්වීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කරමින් සිටියි.

විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2021 දෙසැම්බර්

අඛණ්ඩව හත්වන මාසයටත් එ.ජ. ඩොලර් බිලියනය ඉක්මවූ ඉහළ අපනයන ඉපැයීම් තිබියදීත්, ඉතිහාසයේ ඉහළම මාසික වියදම වාර්තා කරමින් ආනයන අධික ලෙස ඉහළ යෑම හේතුවෙන්, 2021 වසරේ දෙසැම්බර් මාසයේ දී වෙළඳ ගිණුමේ හිඟය, වසරකට පෙර පැවති හිඟයට සාපේක්ෂව පුළුල් විය. අපනයන වර්ධනයට වඩා සැලකිය යුතු වේගයකින් ආනයන ඉහළ යෑම හේතුවෙන් 2021 වසර තුළ දී වෙළඳ හිඟය කැපී පෙනෙන ලෙස පුළුල් විය. පෙර මාසයට සාපේක්ෂව දෙසැම්බර් මාසයේ දී සංචාරක පැමිණීම් කැපී පෙනෙන වර්ධනයක් සමඟින් අඛණ්ඩව ඉහළ ගියේය. මේ අතර, විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සඳහා හඳුන්වා දී ඇති දිරිගැන්වීමේ යෝජනා ක්‍රමයට ප්‍රතිචාර දැක්වීම සහ උත්සව සමයේ ඉහළ යන ප්‍රේෂණ ප්‍රවණතාව පිළිබිඹු කරමින්, 2021 වසරේ දෙසැම්බර් මාසයේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ මාසික ලක්ෂ්‍යමය පදනම මත වර්ධනයක් වාර්තා කළේය. මාසය තුළ අන්තර් බැංකු වෙළඳපොළේ බර තැබූ සාමාන්‍ය එතැන් විනිමය අනුපාතිකය එ.ජ. ඩොලරයට රුපියල් 201ක පමණ මට්ටමක පැවතුණි.

ඉදිරි ණය වගකීම් පියවීම සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත අවධාරණය කිරීම

ශ්‍රී ලංකාව ස්වෛරීත්ව ණය ගෙවීම් පැහැර හැරීමක් අභියස සිටින බවට මෑතකදී පළවූ ඇතැම් මාධ්‍ය වාර්තා පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානය යොමු වී තිබේ. එවැනි ප්‍රකාශ පදනම් රහිත බව ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කරන අතර, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද විශ්වසනීය නිල දත්ත තිබියදීත් මෙම වාර්තාවල පැහැදිලිවම සාවද්‍ය වන කරුණු අඩංගු වීම කනගාටුවට කරුණකි. එබැවින්, සියලු ඉදිරි ණය වගකීම් පියවීමට සහ එමඟින් ශ්‍රී ලංකාවේ නොකැළැල් ණය සේවාකරණ ගෙවීම් වාර්තාව අඛණ්ඩව පවත්වාගෙන යෑමට රජය සහ ශ්‍රී ලංකා මහ බැංකුව කැපවී සිටින බවට දේශීය සහ විදේශීය ආයෝජක ප්‍රජාව සහ මහජනතාව වෙත ශ්‍රී ලංකා මහ බැංකුව සහතික වේ.

Pages