Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය - 2021 ජූනි

මැයි මාසයේ දී නිෂ්පාදන සහ සේවා යන ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක පහළ යන ලදී.

 COVID-19 වසංගතයේ තුන්වන රැල්ල මගින් ඇතිවූ අහිතකර බලපෑම් යම් පමණකින් සමනය වීමක් පෙන්නුම් කරමින් ජුනි මාසය තුළ නිෂ්පාදන ක්‍රියාකාරකම්වල සුළු ප්‍රගමනයක් දක්නට ලැබුණි.

සේවා අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, අඛණ්ඩව මාස දෙකක් පහත වැටීමෙන් පසුව, 2021 ජුනි මාසයේ දී 51.3ක දර්ශක අගයක් වාර්තා කරමින් වර්ධන කලාපයට නැවත පැමිණියේය.

විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2021 මැයි

වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත වෙළඳ ගිණුමේ හිඟය 2021 වසරේ මැයි මාසයේ දී අඛණ්ඩව තෙවන වරටත් පුළුල් විය. 2020 වසරේ මැයි මාසයට සාපේක්ෂව, 2021 වසරේ මැයි මාසයේ දී අපනයන මෙන්ම ආනයන ද සැලකිය යුතු ලෙස ඉහ‍ළ අගයක පැවතුණු අතර, මීට වසරකට පෙර වසංගතය ආශ්‍රිත අවහිරතා හේතුවෙන් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු විය. පෙර මාසයට සාපේක්ෂව, 2021 වසරේ මැයි මාසයේ දී අපනයන ඉපැයීම් ඉහළ ගිය අතර, ආනයන වියදම් පහළ ගියේය. මෙම මාසය තුළ දී, විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ අඛණ්ඩව ඉහළ ගිය අතර, සංචාරක අංශයේ ඉපැයීම් අවම මට්ටමක පැවතුණි. මූල්‍ය ගිණුම සැලකීමේ දී, 2021 වසරේ මැයි මාසයේ දී රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළෙහි සහ කොළඹ කොටස් වෙළඳපොළෙහි විදේශීය ආයෝජන ගෙවීම් සුළු ප්‍රමාණයක් වාර්තා විය. මේ අතර, ශ්‍රී ලංකා රුපියල මාසය පුරාම සමස්තයක් ලෙස ස්ථාවරව පැවති අතර, 2021 වසරේ මැයි මාසය අවසානය වන විට දළ නිල සංචිත ප්‍රමාණය එ.ජ. ඩොලර් බිලියන 4.0ක් විය.

ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයට යළිත් පත් කරයි

පාර්ලිමේන්තු සභාවේ ද අනුමැතිය ඇතිව, අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජනාධිපති නීතීඥ, සංජීව ජයවර්ධන මහතා 2027 ජූනි 6 වන දා තෙක්, වසර 6ක නව ධුර කාලයක් සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයට යළි පත් කරන ලදී.

සංජීව ජයවර්ධන මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයට පත් වූ ප්‍රථම ජනාධිපති නීතිඥවරයා ද වේ.

ඔහු වර්තමානයේ දී විදේශ ණය අධීක්ෂණ කමිටුවෙහි මුදල් මණ්ඩල මට්ටමේ සභාපතිවරයා ලෙසත්, අවදානම් අධීක්ෂණ කමිටුවෙහි සභාපතිවරයා ලෙසත් කටයුතු කරයි. එමෙන්ම, ඔහු ශ්‍රී ලංකා මහ බැංකුවේ ආචාර ධර්ම කමිටුවෙහි සභාපතීත්වය ද දරයි.

1992 දී නීතිඥ වෘත්තියට පිවිසි ජයවර්ධන මහතා, වසර 29ක ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විශිෂ්ඨ සේවාවකින් පසු 2012 වසරේ දී ජනාධිපති නීතීඥවරයෙකු ලෙස බුහුමන් ලැබීය. අභියාචනා නීතිය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය මෙන් ම පොදු නීතිය පිළිබඳ ව ද විශේෂඥ දැනුමකින් හෙබි ඒ මහතා සිවිල්, ගිවිසුම්, වාණිජ, දේපළ, බදු, බැංකු ආදී නීති ක්ෂේත්‍ර ගණනාවක ම මනා පරිචයකින් යුතු නීති වෘත්තිකයෙකි.

ද්විතීයික වෙළඳපොළෙහි ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරවල ආයෝජනය කිරීම සඳහා දේශීය සමාගම්වලට අවසර ලබාදීම

2007 අංක 7 දරන සමාගම් පනත යටතේ ශ්‍රී ලංකාව තුළ සංස්ථාපිත සමාගම් (2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත අනුව මුදල් ව්‍යාපාර කටයුතුවල නිරතවන සමාගම් හැර) සඳහා, ද්විතීයික වෙළඳපොළෙන්, ශ්‍රී ලංකා රජය විසින් නිකුත්කරන ලද ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර මිලදීගැනීමට අවසර ලබා දෙමින්, ගරු මුදල් අමාත්‍යවරයා විසින්, 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ විධිවිධාන ප්‍රකාර ව සහ කැබිනට් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය සහිත ව, නියෝග නිකුත් කර ඇත.

ඉහත නියෝගවලට අනුව, පවතින විදේශ විනිමය නියෝග ප්‍රකාර ව ශ්‍රී ලංකාවෙන් පිටත නේවාසික පුද්ගලයෙකුගෙන් ලබාගත් විදේශ ව්‍යවහාර ණය මුදලකින් සියයට පනහක් (50%) යොදාගනිමින් සහ පහත නියම සහ කොන්දේසිවලට යටත්ව, ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරන ලද ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරවල ආයෝජනය කිරීමේ හැකියාව සමාගම්වලට ලැබේ.

විශේෂ තැන්පතු ගිණුම් සඳහා 2% ක් දක්වා වාර්ෂික අමතර පොළියක් ප්‍රදානය කිරීම අවුරුදු 2ක කාලයක් සඳහා දීර්ඝ කිරීම

විදේශ විනිමය සැලකියයුතු ප්‍රමාණයක් රට තුළට ආකර්ෂණය කර ගැනීමට විශේෂ තැන්පතු ගිණුම් සතුව පවතින හැකියාව සහ රට තුළ පවතින විදේශ මුදල් සංචිත මට්ටම සහ සමස්ත ආර්ථිකය කෙරෙහි ඇතිවිය හැකි ධනාත්මක ප්‍රතිඵල සලකා බලා ගරු මුදල් අමාත්‍යවරයා, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ නිර්දේශය සහිතව, තැන්පතු තැබීමේ පළමු දිනයේ සිට මාස 24ක සමුච්ඡිත කාලපරිච්ඡේදයක් දක්වා විශේෂ තැන්පතු ගිණුම් නැවත ආයෝජනය කිරීම සඳහා අවසර ප්‍රදානය කිරීමට තීරණය කර ඇත. එලෙස නැවත ආයෝජනය කරනු ලබන විශේෂ තැන්පතු ගිණුම් රජය විසින් පිරිනමනු ලබන 2%ක් දක්වා වන වාර්ෂික අමතර පොළිය සඳහා සුදුසුකම් ලබනු ඇත.

රට තුළ ව්‍යාප්ත වූ කොවිඩි-19 (Covid-19) වසංගත තත්ත්වයේ බලපෑම්වලින් මිදීම සඳහා ක්‍රියාත්මක ජාතික ප්‍රයත්නයට සහාය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් 2020 අප්‍රියෙල් මස 08 වන දින විශේෂ තැන්පතු ගිණුම් හඳුුන්වාදෙන ලදී. ඒ අනුව, 2021 ජූලි මස 02 වන දින වන විට විශේෂ තැන්පතු ගිණුම්වලට ලැබී ඇති මුළු තැන්පතු ප්‍රමාණය ආසන්න වශයෙන් එ.ජ.ඩොලර් මිලියන 458 ක් වේ.

ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින මට්ටමේ පවත්වාගනී

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2021 ජූලි මස 07 වැනි දින පැවති රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 4.50 සහ සියයට 5.50 ලෙස දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යෑමට තීරණය කළේය. දේශීය සහ ගෝලීය වශයෙන් වන සාර්ව ආර්ථික තත්ත්වයන් සහ අපේක්ෂිත වර්ධනයන් මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් මණ්ඩලය මෙම තීරණයට එළඹුණි.

Pages

නිවේදන