Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

ශ්‍රී ලංකා මහ බැංකුවෙහි සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුවෙහි මහජන සේවා කවුළුව වසා තැබීම

ශ්‍රී ලංකා මහ බැංකුවෙහි සේ.අ.අ. දෙපාර්තමේන්තුවෙහි මහජන සම්බන්ධතා හා විමසීම් අංශයට අනුයුක්තව සේවය කළ නිලධාරීන් කිහිපදෙනෙක් කෝවිඩ් 19 ආසාදිතයන් ලෙස හඳුනාගත් බැවින් කොළඹ කොටුව, ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවතෙහි ලොයිඩ්ස් ගොඩනැගිල්ලේ බිම් මහලෙහි පවත්වාගෙන ගිය සේ.අ.අ. දෙපාර්තමේන්තුවෙහි මහජන සේවා කවුළුව 2021.08.20 දින දක්වා වසා තැබෙන බව සියලුම සේවායෝජකයන්ට හා සාමාජිකයන්ට කාරුණිකව දන්වා සිටිමු.

සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුවෙහි අනෙකුත් සේවා හා කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යනු ලැබේ. අනෙකුත් සේවාවන් පිළිබඳ වැඩිදුර විස්තර දැන ගැනීම සඳහා පහත දැක්වෙන තොරතුරු පරිශීලනය කරන්න. නැතහොත් www.epf.lk අපගේ වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

පැමිණිලි හැසිරවීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම සහ ශ්‍රී ලංකා මහ බැංකුවෙන් සිදු කරනු ලබන විමසීම් සඳහා ක්ෂණික ඇමතුම් අංකයක් හඳුන්වාදීම

1949 අංක 58 දරන සංශෝධිත මුදල් නීති පනතේ 33 වන වගන්තිය ප්‍රකාරව ස්ථාපනය කරන ලද මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහ බැංකුව නියාමනය කරනු ලබන මූල්‍ය සේවා සපයන ආයතන සම්බන්ධයෙන් මූල්‍ය පාරිභෝගිකයින් විසින් සිදුකරන පැමිණිලි හැසිරවීමේ තනි ඒ්කකයක් ලෙස කටයුතු කරයි. 

ශ්‍රී ලංකා මහ බැංකුව නියාමනය කරනු ලබන මූල්‍ය සේවා සපයන ආයතනයක්  සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන මූල්‍ය පාරිභෝගිකයින්ට ඔවුන්ගේ පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා පැමිණිල්ලි ඉදිරිපත් කිරීමේ ආකෘති පත්‍රයක් මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දෙන ලදී. මෙමගින් පැමිණිලි හැසිරවීමේ ක්‍රියාවලිය විධිමත් ආකාරයෙන් කාර්යක්ෂමව සිදුවනු ඇති අතර මෙම පැමිණිලි ඉදිරිපත් කිරීමේ ආකෘති පත්‍රය භාවිත කර නිවැරදි තොරතුරු සහිතව පැහැදිලි හා සංක්ෂිප්ත පැමිණිල්ලක් යොමු කිරීම සඳහා මූල්‍ය පාරිභෝගිකයින් උනන්දු කරවනු ලැබේ. 

ඉඩම් තක්සේරු දර්ශකය - 2021 වසරේ පළමු භාගය

කොළඹ දිස්ත්‍රික්කයෙහි ඉඩම් තක්සේරු දර්ශකය 2021 වසරේ පළමු භාගයේ දී 155.1 ක් දක්වා ඉහළ යන ලදී. පසු ගිය වසර දෙක තුළ දක්නට ලැබුණු ඉඩම් තක්සේරු දර්ශකයේ වැඩි වීම පහළ යාමේ ප්‍රවණතාවයට ප්‍රතිවිරුද්ධව යමින් ඉඩම් තක්සේරු දර්ශකයෙහි වාර්ෂික වර්ධනය 9.5 ක් ද අර්ධ වාර්ෂික වර්ධනය 6.8 ක් ද ලෙස වාර්තා විය.

ඉඩම් තක්සේරු දර්ශකයෙහි වර්ධනය සඳහා නේවාසික, වාණිජ හා කාර්මික යන ඉඩම් තක්සේරු අනු දර්ශක තුනෙහිම ඉහළ යාම හේතු විය. කාර්මික ඉඩම් තක්සේරු අනු දර්ශකය මගින් වැඩිම වාර්ෂික වර්ධනය වන සියයට 10.1 ක අගය වාර්තා වූ අතර, අනුපිළිවෙලින් නේවාසික සහ වාණිජ ඉඩම් තක්සේරු අනු දර්ශකයන්හි ද වර්ධනයන් දක්නට ලැබුණි.

කො.පා.මි.ද. මත පදනම් වූ උද්ධමනය 2021 ජූලි මාසයේ දී සියයට 5.7 දක්වා ඉහළ යන ලදී

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 ජුනි මාසයේ පැවති සියයට 5.2හි සිට 2021 ජූලි මාසයේ දී සියයට 5.7 දක්වා ඉහළ ගියේය. ආහාර නොවන කාණ්ඩයෙහි අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් මේ සඳහා හේතු විය. මේ අතර, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 ජුනි මාසයේ පැවති සියයට 11.3හි සිට 2021 ජූලි මාසයේ දී සියයට 11.0 දක්වා පහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 ජුනි මාසයේ පැවති සියයට 2.5හි සිට 2021 ජූලි මාසයේ දී සියයට 3.2 දක්වා ඉහළ ගියේය.

වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන කො.පා.මි. දර්ශකයෙහි වෙනස 2021 ජුනි මාසයේ පැවති සියයට 4.1හි සිට 2021 ජූලි මාසයේ දී සියයට 4.2 දක්වා සුළු වශයෙන් ඉහළ ගියේය.

ජා.පා.මි.ද. මත පදනම් වූ උද්ධමනය 2021 ජුනි මාසයේ දී නොවෙනස්ව පැවතුණි

ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 ජුනි මාසයේ දී සියයට 6.1හි නොවෙනස්ව පැවතුණු අතර, මේ සඳහා 2020 ජුනි මාසයේ පැවති ඉහළ පදනම් අගය මගින් ඇති වූ සංඛ්‍යානමය බලපෑම හේතුවිය. මේ අතර, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 මැයි මාසයේ දී පැවති සියයට 10.3 හි සිට 2021 ජුනි මාසයේ දී සියයට 9.8 දක්වා පහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 මැයි මාසයේ පැවති සියයට 2.5හි සිට 2021 ජුනි මාසයේ දී සියයට 2.9 දක්වා ඉහළ ගියේය.

වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජා.පා.මි. දර්ශකයෙහි වෙනස, 2021 ජුනි මාසයේ දී සියයට 5.4හි නොවෙනස්ව පැවතුණි.

මූල්‍ය බුද්ධි ඒකකය විසින් 2021 දෙවන කාර්තුව තුළදී මූල්‍ය ආයතන සඳහා පරිපාලනමය දණ්ඩන පැනවීම

2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 19 (1) සහ 19 (2) වගන්ති මගින් පැවරී ඇති බලතල අනුව, මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ ප්‍රතිපාදනවලට අනුකූල නොවන ලෙස ක්‍රියා කරන ආයතන සඳහා මූල්‍යමය දණ්ඩන පනවනු ලැබේ.  මූල්‍ය ආයතනයක්  විසින් සිදුකරන අදාළ අනුකූල නොවන කටයුතුවල ස්වභාවය හා බැරෑරුම්කම සැලකිල්ලට ගෙන මෙම දණ්ඩන නියම කළ හැකි ය. 

ඒ අනුව, රටේ මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ නියාමන ආයතනය ලෙස මූල්‍ය බුද්ධි ඒකකය විසින් මූල්‍ය ආයතනවල අනුකූලතාව බලාත්මක කිරීම සඳහා 2021 අප්‍රියෙල් 01 සිට 2021 ජූනි 30 දක්වා කාලය තුළ පනවන ලද සමස්ත දඩ මුදල රුපියල් මිලියන 3.0 කි. දණ්ඩන මගින් එකතු කරන ලද මුදල් ඒකාබද්ධ අරමුදලට බැර කරන ලදී.

Pages