අජිත් නිවාඩ් කබ්රාල් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ලෙස සිය රාජකාරී කටයුතු අරඹයි

අජිත් නිවාඩ් කබ්රාල් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ලෙස 2021 සැප්තැම්බර් 15 වන බදාදා  කොළඹ දී සිය ධූරයේ රාජකාරී කටයුතු ඇරඹුවේය. 1949 අංක 58 දරන මුදල් නීති පනතේ ප්‍රතිපාදනවලට අනුකූල ව, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් මෙම පත් කිරීම සිදු කරන ලදි. මේ අනුව කබ්රාල් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ සභාපති වශයෙන් ද කටයුතු කරනු ඇත.

කබ්රාල් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ දොළොස්වන අධිපතිවරයා ලෙස 2006 ජූලි සිට 2015 ජනවාරි දක්වා එම ධූරය දරන ලදි. එමෙන්ම, ඒ මහතා 2020 අගෝස්තු 12 වන දින සිට 2021 සැප්තැම්බර් 13 වන දින දක්වා මුදල් හා ප්‍රාග්ධන වෙළඳපල සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් ද සේවය කළේය.

Published Date: 

Wednesday, September 15, 2021