විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2021 ජූලි

වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත වෙළඳ ගිණුමේ හිඟය 2021 වසරේ ජූලි මාසයේ දී පුළුල් වීමක් වාර්තා කළේය. පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව මාසය තුළ දී භාණ්ඩ අපනයනයෙන් ලද ආදායම ඉහළ ගිය නමුත්, ආනයන වියදම වඩා වැඩි වේගයකින් ඉහළ යෑම හේතුවෙන් වෙළඳ හිඟය 2021 වසරේ ජූලි මාසයේදී අඛණ්ඩව පස්වනවරටත් පුළුල් විය. 2021 වසරේ ජූනි මාසයේ දී නිරීක්ෂණය වූ ප්‍රවණතාවයට අනුව යමින් ජූලි මාසයේ දී ද විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ පහළ ගිය අතර, සංචාරක ඉපැයීම් ද අවම මට්ටමක පැවතුණි. මේ අතර, ණය සේවාකරණ ගෙවීම් සම්බන්ධයෙන් රට විසින් අඛණ්ඩව පවත්වාගෙන යනු ලබන වාර්තාව බිඳ නොහෙළමින්, ශ්‍රී ලංකාව විසින් 2021 වසරේ ජූලි මාසයේ දී එ.ජ. ඩොලර් බිලියන 1.0ක වටිනාකමකින් යුතු වසර 10ක කල්පිරීමක් සහිත වූ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරය සාර්ථකව පියවන ලදී. 2021 වසරේ ජූලි මාසය තුළ දී රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළ විදේශීය ආයෝජන සුළු ශුද්ධ ලැබීමක් වාර්තා කළ අතර, කොළඹ කොටස් වෙළඳපොළ අඛණ්ඩව ශුද්ධ ගෙවීම් වාර්තා කළේය. අන්තර් බැංකු වෙළඳපොළේ සාමාන්‍ය එතැන් විනිමය අනුපාතිකය 2021 වසරේ ජූලි මාසයේ දී සමස්තයක් ලෙස ස්ථාවරව පැවතුණි.

සම්පුර්ණ ලිපිය

Published Date: 

Monday, September 13, 2021