Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

කො.පා.මි.ද. මත පදනම් වූ වාර්ෂික ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය, 2022 මැයි මාසයේ දී තවදුරටත් ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2022 අප්‍රේල් මාසයේ පැවති සියයට 29.8හි සිට 2022 මැයි මාසයේ දී සියයට 39.1ක් දක්වා ඉහළ ගියේය. මෙම වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය ඉහළ යෑම සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් හේතු විය. ඒ අනුව, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 අප්‍රේල් මාසයේ පැවති සියයට 46.6හි සිට 2022 මැයි මාසයේ දී සියයට 57.4 දක්වා ඉහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 අප්‍රේල් මාසයේ පැවති සියයට 22.0හි සිට 2022 මැයි මාසයේ දී සියයට 30.6 දක්වා ඉහළ ගියේය.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය සඳහා අවශ්‍ය වන විදේශ විනිමය බැංකු පද්ධතිය තුළින් සපයා ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව සිය කැපවීම නැවත තහවුරු කරයි

ශ්‍රී ලංකාවට භාණ්ඩ ආනයනය කිරීමේ දී, විවෘත ගිණුම් ක්‍රම (Open Account Payment Terms) හෝ භාණ්ඩ විකිණීමෙන් පසු මුදල් ගෙවීමේ පදනම යටතේ ගෙවීම් (Consignment Account Terms) ක්‍රම භාවිතය කොන්දේසි සහිතව සීමා කරමින්, මුදල් අමාත්‍යාංශය විසින් 2022 වසරේ මැයි මස 06 දින, 2022 අංක 07 දරන ගෙවීම් ක්‍රම සඳහා වූ ආනයන පාලන රෙගුලාසි, 2022 වසරේ මැයි මස 20 දින සිට බලපැවැත්වෙන පරිදි නිකුත් කරන ලදී.

මෙම ක්‍රියාමාර්ගය, දේශීය බැංකු පද්ධතිය තුළ විදේශ විනිමය ද්‍රවශීලතා තත්ත්වයන් වැඩිදියුණු කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව සහ රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන අනෙකුත් විවිධ ක්‍රියාමාර්ග සමඟ සම්බන්ධ වේ.

නිහාල් ෆොන්සේකා මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයට පත් කරයි

ඇන්තනී නිහාල් ෆොන්සේකා මහතා 2022 මැයි 26 දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩල සාමාජිකයෙකු ලෙස යළි පත් කරන ලදී. මින් පෙර, ඔහු 2016 ජුලි මාසයේ සිට 2020 මැයි මාසය දක්වා මුදල් මණ්ඩලයෙහි සේවය කළේය.

කොළඹ ලංකා විශ්වවිද්‍යාලයෙන් තම විද්‍යාවේදී උපාධිය ලබා ගත් ඒ මහතා, එක්සත් රාජධානියේ වරලත් බැංකුකරුවන්ගේ ආයතනයේ අධි සාමාජිකයෙකු වන අතර, එක්සත් රාජධානියේ වරලත් සුරැකුම්පත් සහ ආයෝජන ආයතනයේ ගරු අධි සාමාජිකයෙකි. ඔහු ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පොදු සමාගමෙහි ජ්‍යෙෂ්ඨ ස්වාධීන අධ්‍යක්ෂ සහ සමූහ විගණන කමිටුවේ සභාපති, සී/ස ෆීනික්ස් ඉන්ඩස්ට්‍රීස් සමාගමෙහි සභාපති, බ්‍රැන්ඩික්ස් ලංකා සමාගමෙහි විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු සහ විගණන කමිටුවේ සභාපති, සී/ස ෆීනික්ස් වෙන්චර්ස් සමාගමෙහි විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු සහ ආයෝජන කමිටුවේ සභාපති ලෙස ද කටයුතු කරයි.

බැංකු ක්ෂේත්‍රයට සහාය වීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ක්‍රියාත්මක කරනු ලබන සුවිශේෂී ක්‍රියාමාර්ග

පවතින සාර්ව ආර්ථික තත්ත්වයන් සහ එමගින් බැංකු ක්ෂේත්‍රයට ඇති කෙරෙන බලපෑම සැලකිල්ලට ගෙන, බැංකු ක්ෂේත්‍රයේ සවිමත්භාවය පවත්වා ගනිමින් ආර්ථිකය වෙත ණය ප්‍රවාහ සැපයීමට සහ ඵලදායී මූල්‍ය අතරමැදිකරණය සඳහා පහසුකම් සැලසීම‍ට බැංකු අංශයට සහය වීම සඳහා පහත සඳහන් නියාමන ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.

ජා.පා.මි.ද. මත පදනම් වූ වාර්ෂික ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය, 2022 අප්‍රේල් මාසයේ දී තවදුරටත් ඉහළ ගියේය

ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2022 මාර්තු මාසයේ පැවති සියයට 21.5හි සිට 2022 අප්‍රේල් මාසයේ දී සියයට 33.8ක් දක්වා ඉහළ ගියේය. මෙම වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය ඉහළ යෑම සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් හේතු විය. ඒ අනුව, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 මාර්තු මාසයේ පැවති සියයට 29.5හි සිට 2022 අප්‍රේල් මාසයේ දී සියයට 45.1 දක්වා ඉහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 මාර්තු මාසයේ පැවති සියයට 14.5හි සිට 2022 අප්‍රේල් මාසයේ දී සියයට 23.9 දක්වා ඉහළ ගියේය.

මුදල් ප්‍රතිපත්ති විවරණය: අංක 04 - 2022 මැයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2022 මැයි මස 18 වැනි දින පැවති රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 13.50 සහ සියයට 14.50 ලෙස දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යෑමට තීරණය කළේය. නුදුරු කාලීනව උද්ධමනය ඉහළ අගයක පවතිනු ඇතැයි පුරෝකථනය කර ඇතත්, 2022 අප්‍රේල් මස 08 වැනි දින පැවති රැස්වීමේදී මුදල් මණ්ඩලය විසින් ගනු ලැබූ සැලකිය යුතු ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග මෙන්ම සමස්ත ඉල්ලුම් පීඩන ඇති වීම වැළැක්වීම සඳහා ගනු ලැබූ අනෙකුත් ක්‍රියාමාර්ග මගින් ඉදිරි කාලයේදී තවදුරටත් උද්ධමන අපේක්ෂා ඇති වීම අවම කිරීම සහ උද්ධමන පීඩන ලිහිල් කිරීම අපේක්ෂා කෙරෙන බව මුදල් මණ්ඩලයේ අදහස විය.

Pages