ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති/ජාතික සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා, 2023 ජූලි 11 සිට 14 දක්වා කැනඩාවේ වැන්කුවර් නගරයේ පැවති මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායමේ වාර්ෂික සැසිය සඳහා සහභාගී වෙයි

2023 ජූලි 11 සිට 14 දක්වා කැනඩාවේ වැන්කුවර් හි පැවති, මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායමේ 2023 වාර්ෂික සැසිය සහ තාක්ෂණික සහාය සහ පුහුණු (TA&T) සැසිය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ,මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැලැක්වීම පිළිබඳ ජාතික සම්බන්ධීකරණ කමිටුවේ සභාපති වශයෙන් ශ්‍රී ලංකා නියෝජිත පිරිස සමග සහභාගී විය. ලාඕසය, නේපාලය සහ බෲනායි යන රටවල් තුනෙහි අන්‍යෝන්‍ය ඇගයීම් සඳහා සහභාගී වූ ශ්‍රි ලාංකික නිලධාරීන්ගෙන් එම නියෝජිත පිරිස, සමන්විත විය. එම වාර්ෂික සැසිය සදහා ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායමේ සාමාජික රටවල් 42 ක නියෝජිතයින් 300 කට අධික සංඛ්‍යාවක් මෙන්ම අනෙකුත් නිරීක්ෂකයින් සහ පුද්ගලික අංශයේ පාර්ශවකරුවන් එක් වූ අතර, එහිදී මුදල් විශුද්ධිකරණය, ත්‍රස්තවාදයට මුදල් සැපයීම ඇතුළු බරපතල මූල්‍ය අපරාධ හා සමුලඝාතක අවි මුල්‍යනය සම්බන්ධ තීරණාත්මක ගැටළු සාකච්ඡා කරන ලදී .

2023 ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායමෙහි සම මුලසුන දරන ලද්දේ කැනඩාවේ මුදල් දෙපාර්තමේන්තුවේ සහකාර නියෝජ්‍ය මුදල් අමාත්‍ය ජුලියන් බ්‍රාසීහු (Julien Brazeau) සහ ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසියේ නියෝජ්‍ය කොමසාරිස් ඉයන් මැකාර්ට්නි (Ian McCartney) විසිනි.

මෙම සභාව අතරතුර, ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය (FIU) සහ ටිමෝරයේ සහ ලාඕසයේ මුල්‍ය බුද්ධි ඒකක අතර අවබෝධතා ගිවිසුම් දෙකක් (MOU) අත්සන් කරන ලදී. මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීමට එරෙහිව සටන් කිරීමේදී ජාත්‍යන්තර සහයෝගීතාව සහ සම්බන්ධීකරණය ඉහළ නැංවීමෙහිලා මෙම ගිවිසුම් මහෝපකාරී වනු ඇත. නීතිවිරෝධී මූල්‍ය ක්‍රියාකාරකම්වලට එරෙහි ක්‍රියාදාමයේදී ජාත්‍යන්තර සබඳතා ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකාවේ කැපවීම පිළිබිඹු කරමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මෙම අවබෝධතා ගිවිසුම් සම්බන්ධීකරණය සඳහා පහසුකම් සැලසීමේදී නායකත්වය ලබා දුන්නේය.

සම්පුර්ණ ලිපිය

Published Date: 

Thursday, July 27, 2023