කො.පා.මි.ද. මත පදනම් වූ මතුපිට උද්ධමනය, මාස දහනවයකට පසුව 2023 ජූලි මාසයේ දී නැවතත් තනි අගයක මට්ටමට ළගා විය

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2023 ජුනි මාසයේ වාර්තා වූ සියයට 12.0හි සිට 2023 ජූලි මාසයේ දී සියයට 6.3 දක්වා පහළ ගියේය. මතුපිට උද්ධමනයේ මෙම පහළ යෑම, 2023 ජූලි මාසයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අපේක්ෂා කරන ලද උද්ධමනය පහළ යෑමේ ප්‍රවණතාවට බොහෝ දුරට අනුකූල වේ.

ආහාර කාණ්ඩය, වසර හතරකට ආසන්න කාලයකට පසුව, 2023 ජුනි මාසයේ පෙන්නුම් කළ සියයට 4.1ක වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනයට සාපේක්ෂව 2023 ජූලි මාසයේ දී සියයට 1.4ක අවධමනයක් වාර්තා කළේය. මේ අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2023 ජුනි මාසයේ පැවති සියයට 16.2හි සිට 2023 ජූලි මාසයේ දී සියයට 10.5 දක්වා තවදුරටත් පහළ ගියේය. ආහාර නොවන කාණ්ඩයේ අයිතමවල දක්නට ලැබුණු සියයට -1.13ක මිල පහළ යෑමේ සහ ආහාර කාණ්ඩයේ අයිතමවල වාර්තා වූ සියයට 0.01ක සුළු මිල ඉහළ යෑමේ ඒකාබද්ධ බලපෑම හේතුවෙන් 2023 ජූලි මාසයේ දී කො.පා.මි. දර්ශකයේ මාසික වෙනස සියයට -1.12ක් ලෙස වාර්තා විය. තවද, ආර්ථිකයේ යටිදැරි උද්ධමනය පිළිබිඹු කරන වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මූලික උද්ධමනය, 2023 ජුනි මාසයේ පැවති සියයට 9.8හි සිට 2023 ජූලි මාසයේ දී සියයට 6.1 දක්වා පහළ ගියේය.

දැනට පවතින තොරතුරු අනුව, උද්ධමනය තවදුරටත් පහළ ගොස් මැදි කාලීනව ඉලක්කගත මට්ටම වටා ස්ථාවර වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙලෙස උද්ධමනය පහළ යෑම කෙරෙහි දැඩි මුදල් හා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිවල පසු බලපෑම, සැපයුම් අංශයේ වර්ධනයන්, බලශක්ති හා ආහාර උද්ධමනය පහළ යෑම සහ හිතකර සංඛ්‍යානමය පදනම් බලපෑම ද සහාය වේ.

සම්පුර්ණ ලිපිය

Published Date: 

Monday, July 31, 2023