Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

වංචා සහගත ඇමතුම්, කෙටි පණිවුඩ, විද්‍යුත් තැපැල් පණිවුඩ හා සමාජ මාධ්‍ය ජාල හරහා පුද්ගලයන්ගෙන් මුදල් වංචා කිරීම පිළිබඳ ව මහජනතාව දැනුම්වත් කිරීම

විදේශ රැකියා සඳහා යොමු කරන බවට පොරොන්දු ලබා දෙමින් හෝ විවිධ වටිනා භාණ්ඩ ඇතුළත් පාර්සල් ලබා ගැනීම සඳහා රේගු බදු ගෙවන ලෙස දන්වමින් වංචා සහගත දුරකථන ඇමතුම්, කෙටි පණිවුඩ, විද්‍යුත් තැපැල් පණිවුඩ හා සමාජ මාධ්‍ය ජාල හරහා සාවද්‍ය තොරතුරු ලබා දී පුද්ගලයන්ගෙන් මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් අගතියට පත් පාර්ශ්වයන් විසින් සිදුකරනු ලබන පැමිණිලිවල සීග්‍ර වර්ධනයක් මෑත කාලීනව නිරීක්ෂණය වී ඇත.

මූල්‍ය බුද්ධි ඒකකය විසින් මූල්‍ය ආයතන වල අනුකුලතාව බලාත්මක කිරීම සඳහා 2022 ජූලි 01 දින සිට 2022 නොවැම්බර් 16 දින දක්වා කාලපරිච්ඡේදය තුළ පරිපාලනමය දණ්ඩන පැනවීම/ එකතු කිරීම

2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 19 (1) සහ 19 (2) වගන්ති මගින් පැවරී ඇති බලතල අනුව, එම පනතේ ප්‍රතිපාදනවලට අනුකූල නොවන ලෙස ක්‍රියා කරන ආයතන සඳහා මූල්‍යමය දණ්ඩන පනවනු ලැබේ. මූල්‍ය ආයතනයක් විසින් සිදුකරනු ලබන අදාළ අනුකූල නොවන කටයුතුවල ස්වභාවය හා බරපතලකම සැලකිල්ලට ගෙන මෙම දණ්ඩන නියම කළ හැකිය.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ නියාමන ආයතනය ලෙස මූල්‍ය බුද්ධි ඒකකය විසින් මූල්‍ය ආයතනවල අනුකූලතාව බලාත්මක කිරීම සඳහා 2022 ජූලි 01 දින සිට 2022 නොවැම්බර් 16 දින දක්වා කාලය තුළ පහත දක්වා ඇති පරිදි එකතු කර ගන්නා ලද සමස්ත දඩ මුදල රුපියල් මිලියන 10.75 කි. දණ්ඩන මගින් එකතු කරන ලද මුදල් ඒකාබද්ධ අරමුදලට බැර කරන ලදී.

ප්‍රසන්න මනි එක්ස්චේන්ජ් පුද්ගලික සමාගමට නිකුත් කර ඇති මුදල් මාරු කිරීමේ බලපත්‍රය අවලංගු කිරීම

විදේශ මුදල් මාරු කිරීම සඳහා ප්‍රසන්න මනි එක්ස්චේන්ජ් පුද්ගලික සමාගම (Prasanna Money Exchange (Pvt) Ltd) වෙත ලබා දී ඇති බලපත්‍රයට අදාල කොන්දේසි උල්ලංඝනය කිරීම හේතුවෙන් එම සමාගම වෙත නිකුත් කර තිබූ බලපත්‍රය තාවකාලිකව අත්හිටුවමින් සිදු කරන ලද විමර්ශනයෙන් අනතුරුව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ ප්‍රතිපාදන යටතේ ප්‍රසන්න මනි එක්ස්චේන්ජ් පුද්ගලික සමාගමෙහි අංක 42 A, මුදලිගේ මාවත, කොළඹ 01 සහ අංක 57, ගාලු පාර, කොළඹ 06 දරන ස්ථාන වල පැවති පිළිවෙලින් ප්‍රධාන කාර්යාලයය සහ ශාඛාව වෙත නිකුත් කර ඇති අංක DFE/RD/0058 දරන බලපත්‍රය අවලංගු කිරීමට තීරණය කරන ලදී.

ප්‍රසන්න මනි එක්ස්චේන්ජ් පුද්ගලික සමාගමට බලයලත් විදේශ මුදල් හුවමාරු කරන්නෙකු ලෙස විදේශ මුදල් මාරු කිරීමට තවදුරටත් අවසර නොමැති අතර ප්‍රසන්න මනි එක්ස්චේන්ජ් පුද්ගලික සමාගම සමඟ විදේශ මුදල් මිල දී ගැනීම, විකිණීම සහ හුවමාරු කිරීම විදේශ විනිමය පනතේ විධිවිධාන යටතේ නීති විරෝධී ක්‍රියාවක් ලෙස සලකන බව මහජනතාවට මෙයින් දැනුම් දෙනු ලැබේ.

විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2022 ඔක්තෝබර්

2022 වසරේ ඔක්තෝබර් මාසයේ දී ප්‍රධාන වශයෙන් ඇඟලුම් අපනයන ආදායම පහළ යෑම හේතුවෙන් 2022 වසරේ මාර්තු මාසයෙන් පසු ප්‍රථම වරට වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත වෙළඳ භාණ්ඩ අපනයන ආදායම පහළ ගියේය. ආනයන වියදම, 2022 වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව ඉහළ යෑමක් වාර්තා කළ ද, 2022 වසරේ ඔක්තෝබර් මාසයේ දී අඛණ්ඩව අටවැනි මාසයටත් වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත පහළ ගියේය. වෙළඳ ගිණුමේ හිඟය 2022 වසරේ ඔක්තෝබර් මාසයේ දී පෙර වසරට සාපේක්ෂව කැපී පෙනෙන පහළ යෑමක් වාර්තා කළේය. මේ අතර, 2022 වසරේ ඔක්තෝබර් මාසයේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ යථා තත්ත්වයට පත් වී  සංචාරක ඉපැයීම් වර්ධනය වූ අතර, එමඟින් 2022 වසරේ ජනවාරි-ඔක්තෝබර් කාලය තුළ සංචාරක ඉපැයීම් එ.ජ. ඩොලර්  බිලියන 1ක් ඉක්මවා ගිය අතර විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ද එ.ජ. ඩොලර්  බිලියන 3ක් පමණ විය. 2022 වසරේ ඔක්තෝබර් මාසයේ දී රජයේ සුරැකුම්පත් වෙළඳපොළ සහ කොළඹ කොටස් වෙළඳපොළ වෙත විදේශ ආයෝජනයන්හි  සුළු ශුද්ධ ලැබීමක් වාර්තා විය. ද්‍රවශීලි දළ නිල සංචිත මට්ටම අඩු වුව ද, අත්‍යවශ්‍ය ආනයන මූල්‍යකරණය සඳහා මහ බැංකුව විදේශ විනිමය අවශ්‍යතා අඛණ්ඩව ලබා දුන්නේය. මේ අතර, අන්තර් බැංකු වෙළඳපොළේ බර තැබූ සාමාන්‍ය එතැන් විනිමය අනුපාතිකය මාසය තුළ දී එ.ජ. ඩොලරයට රුපියල් 363ක මට්ටමක පැවතුණි.

කො.පා.මි.ද. මත පදනම් වූ මතුපිට උද්ධමනය 2022 නොවැම්බර් මාසයේ දී අඛණ්ඩව දෙවන වරටත් පහළ ගියේය

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2022 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 66.0හි සිට 2022 නොවැම්බර් මාසයේ දී සියයට 61.0ක් දක්වා පහළ ගියේය. එම ප්‍රවණතාවම අනුගමනය කරමින්, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 85.6හි සිට 2022 නොවැම්බර් මාසයේ දී සියයට 73.7 දක්වා පහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 56.3හි සිට 2022 නොවැම්බර් මාසයේ දී සියයට 54.5 දක්වා පහළ ගියේය.

ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින මට්ටමේ පවත්වා ගනී

දේශීය හා ගෝලීය ආර්ථිකයේ මෑත කාලීන හා අපේක්ෂිත ප්‍රවණතා සහ සාර්ව ආර්ථික පුරෝකථන සලකා බැලීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2022 නොවැම්බර් මස 23 වැනි දින පැවති රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 14.50 සහ සියයට 15.50 ලෙස දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යෑමට තීරණය කළේය. මැදි කාලීනව උද්ධමනය සියයට 4-6 ඉලක්කගත මට්ටම දක්වා මෙහෙයවීම සඳහා උද්ධමනය අඛණ්ඩව පහළ යෑමේ අපේක්ෂා වර්ධනය කිරීමට තවදුරටත් සහාය වෙමින් ආර්ථිකයේ ඉල්ලුම මත පදනම් වූ උද්ධමන පීඩන පාලනය කිරීමට දැඩි මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය පවත්වාගෙන යෑම අවශ්‍ය බව මුදල් මණ්ඩලයේ  අදහස විය.

සම්පූර්ණ ලිපිය

Pages