ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය (ඉදිකිරීම්) - දෙසැම්බර් 2023

2023 දෙසැම්බර් මාසයේ දී, ඉදිකිරීම් අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ලෙස හඳුන්වනු ලබන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය 48.6ක අගයක් වාර්තා කරන ලදී. ඒ අනුව, පසුගිය මාසයට සාපේක්ෂව ඉදිකිරීම් කටයුතු අඩු වේගයකින් පහත වැටීමක් පෙන්නුම් කෙරේ. මෙසේ ඉදිකිරීම් ක්‍රියාකාරකම් පහත වැටීම සඳහා ව්‍යාපෘති තවදුරටත් අඩු මට්ටමක පැවතීම හේතු වූ බව සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූවන් සඳහන් කරන ලදී.

පෙර මාසයට ආසන්න වේගයකින් දෙසැම්බර් මාසයේදී නව ඇණවුම් පහත වැටීමක් වාර්තා විය. මේ වන විට සිය සමාගම් විදේශ අරමුදල් මගින් සිදු කරනු ලබන ඉදිකිරීම් ව්‍යාපෘති මත දැඩි සේ රඳා පවතින බව සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූ බොහොමයක් දෙනා සඳහන් කළහ. එමෙන්ම, ව්‍යාපෘති අවසන් වීමට සමගාමීව සේවා නියුක්තිය ද පහත වැටුණි. දැනට ක්‍රියාත්මක ඉදිකිරීම් කටයුතු මෙන්ම ඉදිරි ව්‍යාපෘති ද අඩු මට්ටමක පවතින බැවින් තොග මිලදී ගැනීම් ප්‍රමාණය ද අඩු විය. මේ අතර, ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය මෙම මාසය තුළදී ද ඉහළ අගයක පැවතුණි.

ඉදිරි ව්‍යාපෘති අඩු මට්ටමක පැවතීම සහ සිදුකරන ලද බදු සංශෝධන සමග මිල මට්ටම් ඉහල යෑම හේතුවෙන් ඉදිරි මාස තුන සඳහා ඉදිකිරීම් කටයුතු සඳහා වන අපේක්ෂා අඩු මට්ටමක පවතී.

සම්පුර්ණ ලිපිය

Published Date: 

Wednesday, January 31, 2024