කො.පා.මි.ද. මත පදනම් වූ මතුපිට උද්ධමනය 2024 ජනවාරි මාසයේ දී තවදුරටත් ඉහළ ගියේය

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2023 දෙසැම්බර් මාසයේ වාර්තා වූ සියයට 4.0හි සිට 2024 ජනවාරි මාසයේ දී සියයට 6.4 දක්වා ඉහළ ගියේය. මතුපිට උද්ධමනයේ මෙම ඉහළ යෑම, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද පුරෝකථනයන්ට බොහෝ දුරට අනුකූල වේ.

වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත ආහාර උද්ධමනය 2023 දෙසැම්බර් මාසයේ පැවති සියයට 0.3හි සිට 2024 ජනවාරි මාසයේ දී සියයට 3.3 දක්වා ඉහළ ගිය අතර, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත ආහාර නොවන උද්ධමනය 2023 දෙසැම්බර් මාසයේ පැවති සියයට 5.8හි සිට 2024 ජනවාරි මාසයේ දී සියයට 7.9 දක්වා ඉහළ ගියේය. ආහාර කාණ්ඩයේ අයිතමවල වාර්තා වූ සියයට 1.21ක සහ ආහාර නොවන කාණ්ඩයේ අයිතමවල වාර්තා වූ සියයට 1.66ක මිල ඉහළ යෑම් හේතුවෙන් 2024 ජනවාරි මාසයේ දී කො.පා.මි. දර්ශකයේ මාසික වෙනස සියයට 2.87ක් ලෙස වාර්තා විය.  තවද, ආර්ථිකයේ යටිදැරි උද්ධමනය පිළිබිඹු කරන වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මූලික උද්ධමනය, 2023 දෙසැම්බර් මාසයේ පැවති සියයට 0.6හි සිට 2024 ජනවාරි මාසයේ දී සියයට 2.2 දක්වා ඉහළ ගියේය. 

ප්‍රධාන වශයෙන් 2024 ජනවාරි මාසය ආරම්භයේදී ක්‍රියාත්මක කරන ලද බදු සංශෝධන සහ කාලගුණය ආශ්‍රිත අවහිරතා මගින් ආහාර සැපයුමට බාධා ඇති වීම හේතුවෙන්, අපේක්ෂා කළ පරිදි, 2024 ජනවාරි මාසයේදී උද්ධමනය ඉහළ ගියේය. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සන්නිවේදනය කර ඇති පරිදි උද්ධමනයේ තාවකාලික ඉහළ යෑමක් නුදුරු කාලීනව ඇති විය හැකිය. කෙසේ වෙතත්, උද්ධමනයේ එවැනි ඉහළ යෑමක් ඉදිරි කාලයේ දී පහව යනු ඇතැයි අපේක්ෂා කරන අතර, මනාව පාලනය වූ උද්ධමන අපේක්ෂා සහ සුදුසු ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවල සහාය ඇතිව උද්ධමනය මැදි කාලීනව සියයට 5ක ඉලක්කගත මට්ටමෙහි ස්ථායී වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

සම්පුර්ණ ලිපිය

Published Date: 

Wednesday, January 31, 2024