වෙළෙඳ හිඟය අඩු වීම, සංචාරක ඉපැයීම් ඉහළ යෑම සහ මූල්‍ය ගිණුම වෙත වූ ලැබීම් ඉහළ යෑම සමඟ 2016 ජූලි මාසයේ දී විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය වර්ධනය විය. අපනයන අඩු වීමට වඩා වැඩි වේගයකින් ආනයන අඩු වීම හේතුවෙන් ජූලි මාසය තුළ දී වෙළෙඳ හිඟය අඩු විය. පසුගිය වසරේ ජූලි මාසය සමඟ සැසඳීමේ දී මාසය තුළ සංචාරක ඉපැයීම් ඉහළ ගිය අතර විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ අඩු විය. දසවන ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුතුව යටතේ ලැබුණු එක්සත් ජනපද ඩොලර් මිලියන 1,500, ඒකාබද්ධ ණය පහසුකම යටතේ ලැබුණු එක්සත් ජනපද ඩොලර් මිලියන 300 සහ කොළඹ කොටස් වෙළෙඳපොළ හා රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළ වෙත ශුද්ධ ලැබීම් වාර්තා වීම සමඟ මූල්‍ය ගිණුම වෙත වූ ලැබීම් ශක්තිමත් වූ අතර එ මගින් ගෙවුම් ශේෂය මත තිබූ පීඩනය ද අඩු විය.















2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ විධිවිධාන ප්‍රකාර ව ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය 2016 සැප්තැම්බර් 27 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුවේ දී ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹිණි. මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශන සහ නඩු පැවරීම් සඳහා අවශ්‍ය තොරතුරු ලබා ගැනීම මෙහි මූලික පරමාර්ථය වී ඇත. ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජෙනරාල් එම් එන් රණසිංහ සහ ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂ එච් අමරතුංග විසින් මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම වැළැක්වීමේ ජාතික සම්බන්ධීකරණ කමිටුවේ සභාපති, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ඉදිරියේ මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කරන ලදි.