විස්තීර්ණ ණය පහසුකම යටතේ එක්සත් ජනපද ඩොලර් මිලියන 251.4 ක සිව්වන වාරිකය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මුදා හරියි

ශ්‍රී ලංකාව ලබා ගත් තුන් අවුරුදු විස්තීර්ණ ණය පහසුකමට අදාළ තෙවන සමාලෝචනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුව විසින් සම්පූර්ණ කරන ලද අතර ඒ අනුව විශේෂ ගැනුම් හිමිකම් මිලියන 177.774ක (දළ වශයෙන් එක්සත් ජනපද ඩොලර්මි ලියන 251.4 ක) වටිනාකමින් යුතු සිව්වැනි වාරිකය ශ්‍රී ලංකාව වෙත මුදා හැර ඇත.

ශ්‍රී ලංකා රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන සඳහා සහාය වන අතරතුර ගෙවුම් තුලන තත්ත්වය ශක්තිමත් කිරීම විස්තීර්ණ ණය පහසුකමේ ප්‍රධාන අරමුණ වේ. අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් සැපයුම් අංශයට ඇති වූ බාධා මධ්‍යයේ වුව ද, ශ්‍රී ලංකාවේ පවතින ස්ථාවර සාර්ව ආර්ථික හා මූල්‍ය තත්ත්වය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තෙවන සමාලෝචනය පිළිබඳ විධායක කමිටු සාකච්ඡාවේ දී අවධානයට ලක් විය. තව ද, රාජ්‍ය ආදායම ඉහළ නැංවීම සඳහා රාජ්‍ය මූල්‍ය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරන අතරතුර ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමෙහි ලා බලධාරීන් විසින් දරනු ලබන ප්‍රයත්නය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැසසුමට ලක් විය. ජාත්‍යන්තර සංචිත ඉහළ නංවා ගැනීම සහ විදේශ විනිමය අනුපාතිකයේ ඉහළ නම්‍යශීලී බවක් පවත්වා ගනී. විදේශ විනිමය වෙළඳපොළ වැඩිදියුණු කිරීම සඳහා බලධාරීන් විසින් ගනු ලබන වෑයම ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇගයීමට ලක් විය. උද්ධමන පීඩන හා ඉහළ ණය වර්ධනය අඩු කිරීම කෙරෙහි මුදල් ප්‍රතිපත්තිය යොමු විය යුතු බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ  මතය විය.  තව ද, විස්තීර්ණ ණය පහසුකම යටතේ වන ප්‍රමාණාත්මක කාර්යසාධන මිනුම් සම්පූර්ණ කර ගැනීම සඳහා බලධාරීන් විසින් ගනු ලබන වෑයම ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිළිගැනීමට ලක් විය. 

ශ්‍රී ලංකාව විසින් විස්තීර්ණ ණය පහසුකමේ  සිව්වන වාරිකය ලබා ගැනීමත් සමඟ මෙතෙක් එක්සත් ජනපද ඩොලර් මිලියන 759.9ක මුදලක් ශ්‍රී ලංකාව වෙත ලැබී ඇත. විස්තීර්ණ ණය පහසුකමේ සහාය සහිත වූ  ආර්ථික වැඩසටහන මගින් අභියෝගාත්මක ගෝලීය වටපිටාවක් තුළ බාහිර කම්පනවලට ඔරොත්තු දීමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව ශක්තිමත් කර ගනිමින් රටේ සාර්ව ආර්ථික ස්ථායීතාව වර්ධනය කර ගැනීමට සහ වෙළෙඳපොළ විශ්වසනීයත්වය ඉහළ නංවා ගැනීමට  අපේක්ෂා කෙරේ.

 

Published Date: 

Friday, December 8, 2017