2017 ඔක්තෝබර් මස උද්ධමනය

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජ‍ාතික පාරිභෝගික මිල දර්ශ‍කයේ (2013 = 100) විචලනය මගින් මනිනු ලබන උද්ධමනය ලක්ෂ්‍යමය පදනම මත 2017 සැප්තැම්බර් මාසයේ පැවැති සියයට 8.6ට සාපේක්ෂ ව 2017 ඔක්තෝබර් මාසයේ දී සියයට 8.8ක් දක්වා ඉහළ ගියේ ය. 

වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වෙනස 2017 සැප්තැම්බර් මාසයේ දී වාර්තා වූ සියයට 6.8 සිට 2017 ඔක්තෝබර් මාසයේ දී සියයට 7.1 දක්වා ඉහළ ගියේ ය. 

මාසික වෙනස්වීම සැලකූ විට, ජාතික පාරිභෝගික මිල දර්ශකය 2017 සැප්තැම්බර් මාසයේ වාර්තා වූ දර්ශක අංක 123.3 සිට 2017 ඔක්තෝබර් මාසයේ දී දර්ශක අංක 124.8 දක්වා ඉහළ ගියේ ය. සැපයුම් අංශයේ අහිතකර ප්‍රවණතා හේතුවෙන් ආහාර කාණ්ඩයට අයත් අයිතමයන්හි මිල ගණන් ඉහළ යෑම මෙම මාසික ඉහළ යෑමට ප්‍රධාන වශයෙන් හේතු විය. පොල්, එළවළු සහ සහල්වල මිල ගණන් ඉහළ යෑම ප්‍රමුඛ විය. කෙ සේ නමුත්, මාළු සහ බිත්තර මිල ගණන් පහළ ගියේ ය. මේ අතර, 2017 සැප්තැම්බර් මාසයේ දී එල් පී ගෑස් මිල ගණන් සඳහා හඳුන්වා දුන් සංශෝධනවල බලපෑම ද දක්නට ලැබුණි. තව ද, මාසය තුළ දී ආපන ශාලා සහ හෝටල් උප කාණ්ඩයේ මිල ගණන්වල ද ඉහළ යෑමක් වාර්තා විය. 

ආර්ථිකයේ යටිදැරි උද්ධමනය නිරූපණය කරන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ මූලික උද්ධමනය වසරේ මුල් මාසවල සිට පෙන්නුම් කළ ආකාරයට තවදුරටත් පහළ යෑමේ නැඹුරුවක් අනුගමනය කළේ ය. ඒ අනුව, ලක්ෂ්‍යමය පදනම මත 2017 සැප්තැම්බර් මාසයේ දී පැවැති සියයට 4.6 සිට 2017 ඔක්තෝබර් මාසයේ දී සියයට 4.1 දක්වා පහළ ගියේ ය. වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය 2017 සැප්තැම්බර් මාසයේ දී වාර්තා වූ සියයට 5.7 සිට 2017 ඔක්තෝබර් මාසයේ දී සියයට 5.6 දක්වා පහළ ගියේ ය.

සම්පූර්ණ ලිපිය

Published Date: 

Tuesday, November 21, 2017