Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

ශ්‍රී ලංකා මහ බැංකුව වෙත භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම

2019 ජනවාරි මස සඳහා මහා භාණ්ඩාගාරයේ මුදල් ප්‍රවාහයේ සැලසුම්ගත විදේශ මුදල් ලැබීම් ප්‍රමාද වීම හේතුවෙන් රජයේ මූල්‍ය අවශ්‍යතාවන් සපුරාලීම උදෙසා මහා භාණ්ඩාගාරයේ ඉල්ලීම පරිදි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රු. බිලියන 90 ක වටිනාකමින් යුතු භාණ්ඩාගාර බිල්පත් සඳහා දායක වීමට කටයුතු කරන ලදී. ජාතික අවශ්‍යතාව සහ සුවිශේෂී තත්ත්වයන් සලකා බලා මහා භාණ්ඩාගාරය විසින් කර ඇති මෙම ඉල්ලීම සඳහා මුදල් මණ්ඩලය විසින් එකඟතාව පළ කරන ලදී.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බිල්පත් සඳහා දායක වීම තුළින් ඇති විය හැකි සාර්ව ආර්ථික ප්‍රතිවිපාකයන් සලකා බැලීමෙන් පසු, රජයේ ණය ලබා ගැනීමේ වැඩසටහනේ අපේක්ෂිත මූල්‍යයන ක්‍රියාමාර්ගයන් සාක්ෂාත් කර ගැනීමට හැකිවීමත් සමග පෙබ‍රවාරි මාසයේ දී මෙම ගනුදෙනුවේ කොටසක් ආපසු ගෙවීමටත් ඉතිරි කොටස 2019 පළමු කාර්තුව තුළ ආපසු ගෙවීමටත් රජය විසින් එකඟ වී ඇත.

ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය - 2018 දෙසැම්බර්

නිෂ්පාදන ක්‍රියාකාරකම් අඩු වේගයකින් වර්ධනය වීම සඳහා නොවැම්බර් මාසයට සාපේක්ෂ ව දෙසැම්බර් මාසයේ දී නිමි ඇඳුම් නිෂ්පාදන අංශයේ රැකියා නියුක්තියේ සහ නිෂ්පාදනයේ දක්නට ලැබුණු මන්දගාමීත්වය හේතු විය. රැකියා නියුක්තියේ සැලකිය යුතු අඩු වීමට උත්සව සමයේ වඩා හොඳ වැටුප් සහිත තාවකාලික රැකියා සඳහා සමහර සේවකයින් යොමු වීම ප්‍රධාන වශයෙන් හේතු විය. නිෂ්පාදනයේ ඇති වූ අඩු වීම කෙරෙහි ද මෙ මගින් බලපෑමක් ඇති විය. කෙ සේ වුව ද, උත්සව සමයේ ඉල්ලුම අඛණ්ඩ ව පැවැතීම හේතුවෙන් ආහාර සහ පාන අංශයේ නව ඇණවුම්වල වර්ධනයක් දක්නට ලැබුණි. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටීන් ලගාඩ් සහ ශ්‍රී ලංකාවේ මුදල් ඇමති මංගල සමරවීර හා ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි අතර හමුව

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටීන් ලගාඩ්, ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍ය මංගල සමරවීර හා ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි අද දිනයේ දී හමු වූවා ය.

එම හමුවෙන් අනතුරු ව ලගාඩ් මහත්මිය පහත  ප්‍රකාශය නිකුත් කළා ය:

“අමාත්‍ය සමරවීර සහ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති කුමාරස්වාමි හමුවීමට ලැබීම ගැන මම සතුටට පත් වූයෙමි. රටෙහි පවතින අභියෝගාත්මක ආර්ථික පරිසරය සහ ප්‍රතිපත්ති ප්‍රමුඛතාවන් පිළිබඳ ව අපි සාකච්ඡා කළෙමු. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය සහිත වැඩසටහන යටතේ ඔවුන්ගේ ආර්ථික ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාවේ අඛණ්ඩ කැපවීම පිළිබඳ ව එහි දී අවධාරණය කෙරුණි.”

“එම න්‍යාය පත්‍රය ඵලදායී අයුරින් ක්‍රියාත්මක කර ශක්තිමත් ප්‍රතිපත්ති මාලාවක් හඳුන්වා දීම තුළින් ශ්‍රී ලංකාවේ ජනතාවට ප්‍රතිලාභ ලැබෙන තිරසාර, ඉහළ ගුණාත්මක වර්ධන මාවතකට

ශ්‍රී ලංකාව යොමු කළ හැකි බවටත්, එය විශ්වසනීයත්වය ශක්තිමත් කිරීම සඳහා ප්‍රධාන සාධකයක් වන බවටත් එකඟ විය”.

සංචිත ඉහළ නැංවීම සඳහා විනිමය හුවමාරු පහසුකම යටතේ ඉන්දීය සංචිත බැංකුවෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 400ක්

දකුණු ආසියාතික කලාපීය සහයෝගීතා සංවිධානයේ (සාර්ක්) සාමාජික රටවල් අතර පවත්නා විනිමය හුවමාරු පහසුකම යටතේ එක්සත් ජනපද ඩොලර් මිලියන 400ක් ශ‍්‍ර‍්‍රී ලංකා මහ බැංකුව වෙත ලබා දීමට ඉන්දීය සංචිත බැංකුව එකඟ වී ඇත.

මීට අමතර ව එක්සත් ජනපද ඩොලර් බිලියනයක් ලබා ගැනීම සඳහා ඉන්දීය සංචිත බැංකුව සමග ද්විපාර්ශ්වික ගිවිසුමකට එළඹීම සඳහා ශ‍්‍ර‍්‍රී ලංකා මහ බැංකුවෙන් කරන ලද ඉල්ලීම ද සලකා බැලෙමින් පවතී.

ආනයන සහ ණය සේවාකරණය සම්බන්ධ මුදල් ගෙවීම් සිදුකරමින්, අවිධිමත් ගැලපීම් වලක්වා අවශ්‍ය විටෙක දී ව්‍යවහාර මුදල් තත්ත්වය මනාව පවත්වා ගැනීමෙන් දළ විදේශ සංචිත ප‍්‍ර‍්‍රමාණවත් පරිදි පවත්වා ගැනීමෙන් ද ආයෝජන විශ්වාසය ඉහළ නැංවීමෙහි ලා ඉන්දීය සංචිත බැංකුවෙන් ලැබුණු කඩිනම් සහයෝගය මහෝපකාරී වනු ඇත.

මෙම එකඟතාවට එළඹීමේ දී ඉන්දීය මධ්‍යම රජයත්, නව දිල්ලියේ ශ‍්‍ර‍්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයත්, කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයත් දැක්වූූ ක‍්‍ර‍්‍රියාශීලී සහයෝගය ශ‍්‍ර‍්‍රී ලංකා මහ බැංකුව අගය කරයි.

මූල්‍ය අංශ නියාමකයන් අවදානම් පදනම මත සිදු කෙරෙන ඒකාබද්ධ අධීක්ෂණයන් පිළිබඳ අවබෝධතා ගිවිසුමකට එළඹෙයි

අවදානම් පදනම මත ඵලදායී ඒකාබද්ධ අධීක්ෂණය සිදු කිරීම සහ ඒ සම්බන්ධයෙන් ප්‍රධාන අධීක්ෂක ලෙස කටයුතු කිරීම පිණිස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව සමඟ 2018 දෙසැම්බර් 31 දින ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේ දී අවබෝධතා ගිවිසුමකට එළඹෙන ලදී.

මූල්‍ය සමූහ අධීක්ෂණය සඳහා ඒකාබද්ධ අධීක්ෂණය අත්‍යවශ්‍ය මෙවලමක් වේ. මෙ මගින් විවිධ මූල්‍ය උප අංශයන්හි මෙහෙයුම් පවත්වා ගෙන යන ආයතනික සමූහවල සාමාජිකයින්ගේ සම්බන්ධකම් මගින් පැන නගින අවදානම් ඇගැයීමට හා තක්සේරු කිරීමට ලක් වේ. මෙ වැනි ආයතන මගින් පැන නැගිය හැකි, සමස්ත පද්ධතිය වෙත ම බලපාන අවදානම සහ කීර්තිනාමය හානි වීමට ඇති අවදානම යන පද්ධතිමය අවදානම් මැඩ පැවැත්වීම සඳහා මෙ වැනි ආයතනවල මූල්‍ය සමූහයන්ගේ ඒකාබද්ධ අධීක්ෂණය අවශ්‍ය වේ.

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමෙහි ව්‍යාපාර කටයුතු අත්හිටුවීම දීර්ඝ කිරීම

ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥාපනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ නිකුත් කරන ලද නියෝගයන්ට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් සිදුකරගෙන යාමේ අරමුණින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින්, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රාථමික අලෙවිකරුවෙකු විසින් කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් 2019 ජනවාරි මස 05 වැනි දින ප.ව. 4.30 සිට බලපැවැත්වෙන පරිදි මාස හයක (06) කාලසීමාවක් සඳහා තවදුරටත් අත්හිටුවීමට තීරණය කරන ලදී.

Pages