ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය - 2019 නොවැම්බර්

2019 නොවැම්බර් මාසයේ දී නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය වර්ධනයක් පෙන්නුම් කරමින් දර්ශක අගය 56.0ක් ලෙස වාර්තා වූ අතර, නව ඇණවුම්, නිෂ්පාදන සහ සේවා නියුක්තියෙහි සිදු වූ වර්ධනය මේ සඳහා ප්‍රධාන වශයෙන් ම හේතු විය.

නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකයෙහි සියලු ම උප දර්ශක 2019 ඔක්තෝබර් මාසයට සාපේක්ෂ ව අඩු වේගයකින් වුව ද වර්ධනයක් පෙන්නුම් කළේ ය. නව ඇණවුම් සහ නිෂ්පාදන උප දර්ශක අඩු වේගයකින් ඉහළ යෑම කෙරෙහි රෙදිපිළි හා ඇඟළුම් නිෂ්පාදන අංශයන්හි දක්නට ලැබුණු මන්දගාමී වර්ධනය ප්‍රධාන වශයෙන් හේතු විය. මෙම දර්ශකවලට සමගාමී ව සේවා නියුක්තිය ද අඩු වේගයකින් වර්ධනය විය. 

තව ද, නව ඇණවුම් සහ නිෂ්පාදන අඩු වේගයකින් වර්ධනය වුව ද, එළඹෙන නත්තල් හා නව අවුරුදු නිවාඩු සමඟ ඇති විය හැකි සැපයුම් ප්‍රමාදයන් සැලකිල්ලට ගනිමින් ඉදිරි නිෂ්පාදන අවශ්‍යතා සඳහා තොග දැනටමත් මිල දී ගැනීම හේතුවෙන් ගැනුම් තොග ඉහළ වේගයකින් වර්ධනය විය. තව ද, ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගත වන කාලය පසුගිය මාසය හා සැසඳීමේ දී නො වෙනස් ව පැවතුණි. 

සම්පුර්ණ ලිපිය

Published Date: 

Monday, December 16, 2019