Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

රාජ්‍ය ණය වාර්තා කිරීම සම්බන්ධයෙන් පළ වූ මාධ්‍ය වාර්තා පිළිබඳ ව ශ්‍රී ලංකා මහ බැංකුව පැහැදිලි කරයි

2018 පෙබරවාරි 8 වැනි දින රාජ්‍ය ණය වාර්තා කිරීම සහ ගිණුම් පවත්වා ගැනීම පිළිබඳ ව පැවැති මාධ්‍ය වාර්තා කෙරෙහි ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානය යොමු වී ඇත. 

ශ්‍රී ලංකාවේ 70 වැනි නිදහස් සංවත්සරය සැමරීම නිමිත්තෙන් සංසරණ තත්ත්වයේ පවතින සමරු මුදල් නෝට්ටුවක් නිකුත් කරයි

2018 පෙබරවාරි 4 දිනට යෙදී ඇති ශ්‍රී ලංකාවේ 70 වැනි නිදහස් සංවත්සරය සැමරීම නිමිත්තෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් 1000 ක වටිනාකමින් යුත් සමරු මුදල් නෝට්ටුවක් නිකුත් කරන ලදී. මෙය මහ බැංකුව විසින් නිකුත් කරන ලද 4 වැනි සමරු මුදල් නෝට්ටුව ද වේ.

සමරු මුදල් නෝට්ටුවේ විශාලත්වය, ප්‍රමුඛ වර්ණය හා ආරක්‍ෂණ සළකුණු දැනට සංසරණයේ පවතින 11 වැනි කාණ්ඩයට අයත් රුපියල් 1000 වටිනාකමින් යුත් ව්‍යවහාර මුදල් නෝට්ටුව හා සමාන වන අතර පහත සඳහන් වෙනස්කම් පමණක් සිදු කර ඇත.

2017 නොවැම්බර් මාසයේ දී විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය

රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළ සඳහා විදේශීය ආයෝජන ඉහළ යෑම හේතුවෙන් ගෙවුම් තුලනයේ මූල්‍ය ගිණුම වෙත වූ ලැබීම් අඛණ්ඩ ව ඉහළ යෑම සහ සංචාරක ඉපැයීම්වල සුළු වර්ධනය, 2017 වසරේ නොවැම්බර් මාසයේ දී විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය සඳහා හිතකර ලෙස දායක විය. 2016 නොවැම්බර් මාසයේ දී අපනයන වටිනාකම අඩු අගයක් ගැනීම හේතුවෙන් 2017 නොවැම්බර් මාසයේ දී අපනයන අංක දෙකක අගයක වර්ධනයක් වාර්තා කරනු ලැබුව ද, ආනයන වියදම ඉහළ යෑම හේතුවෙන් වෙළඳ හිඟය සැලකිය යුතු ලෙස පුළුල් විය. මේ අතර, මැදපෙරදිග කලාපයේ පවතින අහිතකර ආර්ථික හා භූ-දේශපාලනික තත්ත්වය හේතුවෙන් විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ අඛණ්ඩ ව පහත වැටුණි. ඒ අනුව, 2017 වසරේ නොවැම්බර් අවසානය වන විට ගෙවුම් තුලනයේ සමස්ත ශේෂය එක්සත් ජනපද ඩොලර් බිලියන 2.0 ක අතිරික්තයක් වාර්තා කළේය. 2017 නොවැම්බර් අවසානය වන විට දළ නිල සංචිත ප්‍රමාණය ද, 2016 වසර අවසානයේ දී වාර්තා වූ එක්සත් ජනපද ඩොලර් බිලියන 6.0 සිට එක්සත් ජනපද ඩොලර් බිලියන 7.3 ක් (ආනයනික මාස 4.2 කට ප්‍රමාණවත් වන පරිදි) දක්වා වර්ධනය විය.

සම්පූර්ණ ලිපිය

2017 දෙසැම්බර් මස උද්ධමනය

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013 = 100) විචලනය මගින් මනිනු ලබන උද්ධමනය ලක්ෂ්‍යමය පදනම මත 2017 නොවැම්බර් මාසයේ පැවැති සියයට 8.4ට සාපේක්ෂ ව 2017 දෙසැම්බර් මාසයේ දී සියයට 7.3ක් දක්වා පහළ ගියේ ය. 2016 දෙසැම්බර් මාසයේ දී පැවැති ඉහළ පදනම් අගය මෙම පහළ යෑමට හේතු විය. 

වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වෙනස 2017 නොවැම්බර් මාසයේ දී වාර්තා වූ සියයට 7.5 හි සිට 2017 දෙසැම්බර් මාසයේ දී සියයට 7.7 දක්වා ඉහළ ගියේ ය.

මාසික වෙනස්වීම් සැලකූ විට, ජාතික පාරිභෝගික මිල දර්ශකය 2017 නොවැම්බර් මාසයේ වාර්තා වූ දර්ශක අංක 124.6හි සිට 2017 දෙසැම්බර් මාසයේ දී දර්ශක අංක 126.6 දක්වා ඉහළ ගියේ ය. ආහාර කාණ්ඩයට අයත් අයිතමයන්හි මිල ගණන් ඉහළ යෑම මෙම සුළු මාසික ඉහළ යෑමට ප්‍රධාන වශයෙන් හේතු විය. එළවළු, මාළු සහ රතු ළුෑණුවල මිල ගණන් ඉහළ යෑමක් දක්නට ලැබුණි. කෙ‍ සේ නමුත් සහල්, අමු මිරිස් සහ කෙසෙල් මිල ගණන් පහළ ගියේ ය. ආහාර නො වන කාණ්ඩයේ සැලකිය යුතු මිල ඉහළ යෑමක් වාර්තා නො විණි. 

ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක සමීක්ෂණය - 2017 දෙසැම්බර්

නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2017 දෙසැම්බර් මාසයේ දී 59.1ක දර්ශක අගයක් වාර්තා කරන ලද අතර එය 2017 නොවැම්බර් මාසයට සාපේ්ක්ෂ ව දර්ශක අගයයන් 0.3ක සුළු ඉහළ යෑමකි. ඒ අනුව 2017 නොවැම්බර් මාසයට සාපේක්ෂ ව දෙසැම්බර් මාසයේ දී නිෂ්පාදන කටයුතු වැඩි වේගයකින් වර්ධනය වීමක් පිළිබිඹු වේ. මේ සඳහා විශේෂයෙන් ම නිෂ්පාදන උප දර්ශකයේ ඉහළ යෑම හේතු විය. තව ද, 2017 නොවැම්බර් මාසයට සාපේක්ෂ ව ගැනුම් තොග සහ සේවා නියුක්ති යන උප දර්ශක ද වැඩි වේගයකින් වර්ධනය වූ අතර නව ඇණවුම් උප දර්ශකය අඩු වේගයකින් වර්ධනය විය. මේ අතර ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගත වන කාලය සඳහා අදාළ වන උප දර්ශකය පසුගිය මාසයට සාපේක්ෂ ව වැඩි වේගයකින් වර්ධනය විය. ඒ හැරුණු විට. සියලු ම උප දර්ශක කඩඉම් මට්ටම ලෙස ගැනෙන දර්ශක අගය වන 50.0ට වඩා වැඩි අගයක් වාර්තා කරන ලද අතර ඒ අනුව නොවැම්බර් මාසයේ දී නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය සමස්තයක් ලෙස වර්ධනයක් පිළිබිඹු කළේ ය. තව ද, ඉදිරි මාස තුන සඳහා ව්‍යාපාර ක්‍රියාකාරකම් පිළිබඳ අපේක්ෂා ද යහපත් වර්ධනයක් පෙන්නුම් කරයි. 

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කෙරෙන ප්‍රකාශයයි

2008 - 2014 කාල සීමාව තුල රජයේ සුරැකුම්පත් නිකුත් කිරීමේ දී කිසියම් අක්‍රමිකතාවක් සිදු වී ඇත්ද යන්න පිළිබඳ ව වහාම ප්‍රකාශයක් කරන ලෙස මහ බැංකුව වෙත ඉල්ලීමක් ඉදිරිපත් වී ඇත. 

මෙහි දී 2018 ජනවාරි 11 දින ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් නිකුත් කරනු ලැබූ ප්‍රකාශය වෙත අවධානය යොමු කරනු ලැබේ. එහි අවසාන ඡේදයේ වෝහාරික විගණනයක් සිදු කිරීම පිළිබඳ ව සඳහන් කොට ඇත. එකී විගණනයේ දී 2008 - 2014 කාල සීමාව තුළ සිදු වූ රජයේ සුරැකුම්පත් සහ සේවක අර්ථසාධක අරමුදල සම්බන්ධ කටයුතු පිළිබඳ ව විමසා බැලෙනු ඇති අතර මෙම විගණනය බාහිර පාර්ශ්වයක් විසින් සිදු කෙරෙනු ඇත. වෝහාරික විගණනය අවසාන වීමට පෙර මේ සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් සිදු කිරීම යෝග්‍ය නො වේ.

Pages