ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය - 2020 අප්‍රේල්

COVID-19 වසංගතය මගින් ශ්‍රී ලංකාවේ නිෂ්පාදන අංශයෙහි ඇතිවූ පසුබෑම පිළිඹිබු කරමින් 2020 අප්‍රේල් මාසයේදී නිෂ්පාදන අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, සමීක්ෂණය ආරම්භයේ සිට මෙතෙක් දක්නට ලැබූ අඩුම අගය වාර්තා කරන ලදී. ඒ අනුව, ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය පෙර මාසයට සාපේක්ෂව දර්ශකාංක 5.8 කින් පහළ යමින් 24.2 ක අගයක් වාර්තා කරන ලදී. මේ සඳහා, නව ඇණවුම්, නිෂ්පාදන සහ සේවා නියුක්තිය උප දර්ශක වල සිදුවූ වාර්තා ගත පහළ යාම ප්‍රධාන වශයෙන් හේතු විය.

වෛරසය පැතිරීම සීමා කිරීම සඳහා දිවයින පුරා ඇඳිරි නීතිය අඛණ්ඩව පවත්වාගෙන යාම හේතුවෙන්, නිෂ්පාදන ආයතන සියල්ලම පාහේ 2020 අප්‍රේල් මාසය තුළ වසා දමා හෝ ඒවායේ සුපුරුදු ධාරිතාවෙන් යම් ප්‍රමාණයකින් පමණක් ක්‍රියාත්මකව තිබුණි. ඒ අනුව, නව ඇණවුම්, නිෂ්පාදනය, සේවා නියුක්තිය සහ මිලදී ගැනීම් උප දර්ශක කඩ ඉම් මට්ටමට වඩා බෙහෙවින් අඩු මට්ටමක පැවතුණි. එක්සත් ජනපද හා යුරෝපීය රට වල COVID-19 වෛරසය වේගයෙන් ව්‍යාප්ත වීම හේතුවෙන් තම නිත්‍ය නිෂ්පාදන සඳහා එම රටවල ගැනුම්කරුවන්ගෙන් ඇණවුම් නොලැබුණු බව, රෙදිපිළි හා ඇඟලුම් නිෂ්පාදන අංශයේ බොහෝ ප්‍රතිචාර දැක්වූවන් අවධාරණය කරන ලදී. තවද, ඇතැම් අනියම්/තාවකාලික සේවකයින්ගේ සේවය අත්හිටුවීම සේවා නියුක්තිය අඩු වීම කෙරෙහි ප්‍රධාන වශයෙන් හේතු විය. නිෂ්පාදනය සහ නව ඇණවුම් වල පහළ යාමත් සමඟම තොග මිලදී ගැනුම් ද පහළ යන ලදී.

සම්පුර්ණ ලිපිය

Published Date: 

Monday, May 18, 2020