Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

ඉඩම් මිල දර්ශකය - 2019 වසරේ පළමු භාගය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කොළඹ දිස්ත්‍රික්කය ආවරණය කරමින් අර්ධ වාර්ෂිකව ගණනය කරනු ලබන ඉඩම් මිල දර්ශකය, 2019 වසරේ පළමු භාගය සඳහා 132.2 ක අගයක් වාර්තා කරන ලද අතර, එය 2018 වසරේ පළමු භාගයේ වාර්තා වූ අගයට සාපේක්ෂව සියයට 13.6 ක වර්ධනයකි. ඉඩම් මිල දර්ශකයේ නේවාසික, වාණිජ හා කාර්මික යන අනු දර්ශක තුනෙහිම ඉහළ යාම මෙම වර්ධනය සඳහා හේතු විය.

වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත අනු දර්ශකයන්හි වැඩිම ඉහළ යාම කාර්මික ඉඩම් මිල අනු දර්ශකය මගින් වාර්තා වූ අතර එය සියයට 14.9 ක් විය. වාණිජ ඉඩම් මිල අනු දර්ශකයෙහි සහ නේවාසික ඉඩම් මිල අනු දර්ශකයෙහි ඉහළ යාම් පිළිවෙලින් සියයට 13.2 ක් හා සියයට 12.8 ක් විය. මේ අතර, ඉඩම් මිල දර්ශකය 2018 වසරේ දෙවන භාගයට සාපේක්ෂව 2019 වසරේ පළමු භාගයේ දී සියයට 5.1 කින් ඉහළ යන ලදී.

ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතික අඩු කරයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල්  මණ්ඩලය, 2019 අගෝස්තු 22 වැනි දින පැවති රැස්වීමේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 7.00 සහ සියයට 8.00 දක්වා පදනම් අංක 50කින් අඩු කිරීමට තීරණය කළේ ය. පවතින අඩු උද්ධමනය සහ මැදි කාලීන ව අපේක්ෂිත සියයට 4-6 පරාසය තුළ මනාව පාලනය වී ඇති උද්ධමන අපේක්ෂා සහිත වාතාවරණයක් තුළ ආර්ථික ක්‍රියාකාරකම් නඟා සිටුවීම සඳහා තවදුරටත් සහාය සැලසීමේ අරමුණ ඇතිව, දැනට පවතින සහ අපේක්ෂිත දේශීය ආර්ථිකයේ, මූල්‍ය වෙළඳපොළේ මෙන් ම ගෝලීය ආර්ථිකයේ ප්‍රවණතා මනාව සැලකිල්ලට ගනිමින් මුදල් මණ්ඩලය මෙම තීරණය ගනු ලැබී ය.

2019 ජූලි මාසයේ දී උද්ධමනය ඉහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (2013 = 100) ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනයආහාර සහ ආහාර නො වන යන කාණ්ඩ දෙකෙහිම අයිතමයන්හි මිල ගණන්වල සිදු වූ මාසික ඉහළ යෑම් හේතුවෙන්, 2019 ජුනි මාසයේ පැවති සියයට 2.1 හි සිට 2019 ජූලි මාසයේ දී සියයට 2.2 දක්වා සුළු වශයෙන් ඉහළ ගියේ ය. මේ අතර, 2019 ජූලි මාසයේ දී, ආහාර සහ ආහාර නො වන යන කාණ්ඩ දෙකෙහිම ලක්ෂ්‍යමය උද්ධමන අගයන් පිළිවෙලින් සියයට -2.5 සහ සියයට 6.1 ක් ලෙස වාර්තා විය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි දේශමාන්‍ය සම්මානයෙන් පිදුම් ලබයි

ජාතික සම්මාන ප්‍රදානෝත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2019 අගෝස්තු 19 වන දා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි. මාතෘ භූමිය වෙනුවෙන් උත්කෘෂ්ට මෙහෙවරක නිරත වූ විශිෂ්ට ශ්‍රී ලාංකිකයන් වෙත සම්මාන පිරිනැමීම  මෙහි දී  සිදු විය.

එම උත්සවයේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ඇතුළු විශිෂ්ට ශ්‍රී ලාංකිකයන් හය දෙනෙක් “දේශමාන්‍ය” සම්මානයෙන් පිදුම් ලැබූහ.

“දේශමාන්‍ය” යනු ජාතිය උදෙසා කරන ලද අතිවිශිෂ්ට වූත්, ප්‍රශංසනීය වූත් සේවයට උපහාර වශයෙන් ශ්‍රී ලංකා රජය විසින් සිවිල්  පුරවැසියන් වෙත පුද කෙරෙන දෙ වන උසස් ම සම්මානයයි.

2019 ජූනි මාසයේ දී විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය

වෙළඳ ගිණුමේ හිඟය සැලකිය යුතු ලෙස පහළ යෑම සහ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර තුළින් ලද විදේශ විනිමය ලැබීම් සමඟ දළ නිල සංචිත වර්ධනය වීම හේතුවෙන් 2019 ජූනි මාසයේදී ශ්‍රී ලංකාවේ විදේශීය අංශය තවදුරටත් ශක්තිමත් විය.

2019 ජූනි මස දී වෙළඳ හිඟය, එ.ජ. ඩොලර් මිලියන 316 දක්වා අඩු වූ අතර එය 2010 ඔක්තෝබර් මාසයෙන් පසු වාර්තා වූ අවම අගය වේ.

වෙළඳ හිඟයේ මෙම සැලකිය යුතු පහළ යෑම සඳහා ආනයන වියදම පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂව සියයට 23.1 කින් අඩු වීම සහ අපනයන ඉපැයීම් පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂව සියයට 5.8 කින් ඉහළ යෑම හේතු විය.

සංචාරක ඉපැයීම්, පාස්කු ඉරිදා ප්‍රහාරයේ බලපෑමෙන් පසුව ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් 2019 වසරේ ජූනි මාසයේදී ඉහළ ගියේය. 2019 මැයි මාසයට සාපේක්ෂව සංචාරක ඉපැයීම් 2019 ජූනි මාසයේදී සියයට 66.8 කින් ඉහළ ගියේය. කෙසේ වෙතත්, 2019 ජූනි මාසයේදී සංචාරක ඉපැයීම් පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂව සියයට 57.0 කින් අඩු විය.

“ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ සංඛ්‍යාන - 2019” ප්‍රකාශනය නිකුත් කිරීම

ශ්‍රී ලංකා මහ බැංකුවේ, වාර්ෂික ප්‍රකාශනයක් වන “ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ සංඛ්‍යාන - 2019” මහජනතාවගේ පරිශීලනය සඳහා දැන් නිකුත් කර ඇත.

මෙම ප්‍රකාශනයෙහි ජාතික ගිණුම්, කෘෂිකර්මය, කර්මාන්ත, ජාත්‍යන්තර වෙළෙඳාම සහ මූල්‍ය කටයුතු, රාජ්‍ය මූල්‍ය, බැංකු සහ මූල්‍ය ආයතන, මූදල් සහ ප්‍රාග්ධන වෙළෙඳපොළ, මිල හා වැටුප්, ජනගහනය සහ ශ්‍රම බලකාය, ප්‍රවාහනය, අධ්‍යාපනය, සෞඛ්‍ය, විදුලි සංදේශ සේවා සහ දේශගුණය යනාදී ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ තත්ත්වය පිළිබිඹු වන දර්ශක මෙන්ම අනෙකුත් රටවල්වල තෝරාගත් ආර්ථික සහ සමාජ දර්ශක ද ඇතුළත් වේ.

දත්ත භාවිතා කරන්නන්ගේ විවිධ අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි කාලශ්‍රේණි සහ හරස්කඩ පදනමින් මෙම ප්‍රකාශනයේ දත්ත ඉදිරිපත් කර ඇති අතර, මෙය ව්‍යවසායකයන්ට, ප්‍රතිපත්ති සම්පාදකයන්ට, පර්යේෂකයන්ට, ගුරුවරුන්ට, ශිෂ්‍යයන්ට සහ මහජනතාවට ඉතා ප්‍රයෝජනවත් වනු ඇත.

Pages