ශ්‍රී ලංකා මහ බැංකුව කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් වූ ව්‍යාපාර සඳහා ණය ඇප ආවරණ සහ පොලී සහන ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2020 ජුනි මස 26 දින පැවති රැස්වීමේ දී කොරෝනා වසංගතය හේතුවෙන් පීඩාවට පත් ව්‍යාපාරවලට බැංකු විසින් ලබා දෙනු ලබන ණය පහසුකම් කඩිනම් කිරීම සඳහා ණය ඇප ආවරණ සහ පොලී සහන ණය යෝජනා ක්‍රමයක් හදුන්වා දීමට තීරණය කළේ ය. දැනට ප්‍රකාශයට පත් කර ඇති රුපියල් බිලියන 150ක සීමාව තුළ 'සෞභාග්‍යා COVID – 19 පුනරුද සහන' ණය යෝජනා ක්‍රමය සහ මුදල් නීති පනතෙහි 83 වන වගන්තියට අනුව මුදල් මණ්ඩලය විසින් අනුමත කළ සහන ණය පහසුකමට සමගාමී ව, 2020 ජුලි 1 වැනිදා සිට මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරනු ඇත.

මෙම ණය යෝජනා ක්‍රමය යටතේ,  පීඩාවට පත් වූ ව්‍යාපාරවල කාරක ප්‍රාග්ධන අවශ්‍යතා වෙනුවෙන් බැංකු ආයතන විසින් ලබා දෙනු ලබන ණය මුදා හැරීමේ හැකියාව ඉහළ නංවමින් මහ බැංකුව විසින් කුඩා ණය වෙනුවෙන් සියයට 80ක සහ සාපේක්ෂ ව විශාල ණය වෙනුවෙන් සියයට 50ක පරාසයක ණය ඇප ආවරණයක් බැංකු ආයතන වෙත ලබා දෙනු ඇත. මේ යටතේ, ණය අවදානමෙහි ඉහළ ප්‍රතිශතයක් මහ බැංකුව විසින් දරනු ලබන බැවින් ණය සුරැකුම් වෙනුවට පීඩාවට පත් වූ ව්‍යාපාරවල ශක්‍යතාව සහ මුදල් ප්‍රවාහ මත ණය ලබා දීමේ හැකියාව බැංකු ආයතනවලට හිමි වනු ඇත.

වසංගත කාල සීමාව තුළ මහ බැංකුව ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය පදනම් අංක 300කින් අඩු කිරීම නිසා මුදල් වෙළෙදපොළ තුළ ඇති වූ රුපියල් බිලියන 180ක පමණ අතිරේක ද්‍රවශීලතාව හේතුවෙන් බැංකු ආයතන ඔවුන්ගේ අරමුදල් උපයෝගී කොට ගෙන ව්‍යාපාරවලට සියයට 4ක පොලියට ණය ලබා දීම අපේක්ෂා කරන අතර අදාළ අරමුදල්වල පිරිවැය ආවරණය කිරීම වෙනුවෙන් මහ බැංකුව විසින් සියයට 5ක පොලී සහනයක් බැංකු ආයතනවලට ලබා දෙනු ලැබේ.

මෙම ණය යෝජනා ක්‍රමයෙහි බැංකු සඳහා වන මෙහෙයුම් උපදෙස් කඩිනමින් නිකුත් කරනු ඇත.

Published Date: 

Sunday, June 28, 2020