ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2020 ජූලි මස 01 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා අන්තර් බැංකු අර්පණ අනුපාතික (SLIBOR) ගණනය කිරීම සහ ප්‍රකාශයට පත් නො කිරීමට තීරණය කරන ලදී. මෙම තීරණයට එළඹීම සඳහා ප්‍රධාන වශයෙන් සැලකිල්ලට භාජනය වූ කරුණු වනුයේ දේශීය මූල්‍ය වෙළෙඳපොළ තුළ ණය උපකරණ සඳහා වන පදනම් මිල තීරණය කිරීමේ දී ශ්‍රී ලංකා අන්තර් බැංකු අර්පණ අනුපාතික භාවිත කිරීම අවම වීම, ලන්ඩන් අන්තර් බැංකු අර්පණ අනුපාතික (LIBOR) ඇතුළු ව එවැනි අර්පණ අනුපාතික ගණනය කිරීම හා ප්‍රකාශයට පත් කිරීමෙන් ගෝලීය වශයෙන් බැහැරවීමේ ප්‍රවණතාව, අන්තර් බැංකු වෙළඳපොළේ දිගුකාලීන පරිණත කාල සීමා සඳහා පවතින අඩු පරිමාවන් හමුවේ අර්පණ අනුපාතික වාර්තා කිරීම නවතාලීම සඳහා බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් කරන ලද ඉල්ලීම් සහ දේශීය මූල්‍ය වෙළෙඳපොළ තුළ විකල්ප පදනම් පොලී අනුපාතික පැවතීම යනාදියයි.















