විශේෂ තැන්පතු ගිණුම් විවෘත කිරීම පිළිබඳ ව පැහැදිලි කිරීමක්

මෑතක දී හඳුන්වා දෙන ලද විශේෂ තැන්පතු ගිණුම් විවෘත කිරීමේ දී සහ පවත්වා ගෙන යෑමේ දී ශ්‍රී ලංකාව තුළ මෙහෙයුම් කටයුතුවල යෙදෙන බැංකු (බලයලත් වෙළෙඳුන්) අවශ්‍ය නිසි පරීක්ෂා කිරීමේ ක්‍රියාවලි අනුගමනය නො කරන්නේ යැයි බලධාරීන් සහ පුද්ගලයන් කිහිප දෙනෙකු විසින් ප්‍රකාශ කරන ලද අදහස්/කරුණු ශ්‍රී ලංකා මහ බැංකුව සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරයි.

විදේශ විනිමය පනතෙහි විධිවිධාන යටතේ 2020.04.08 දිනැති නියෝග නිකුත් කිරීම මගින් කොවිඩ් 19 (Covid – 19) වසංගත තත්ත්වයේ බලපෑම්වලින් මිදීම සඳහා ක්‍රියාත්මක ජාතික ප්‍රයත්නයට සහාය ලබා දීමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විමසීමෙන් පසු ව ශ්‍රී ලංකා රජය විසින් විශේෂ තැන්පතු ගිණුම හඳුන්වා දී තිබේ.

එකී නියෝගවල දක්වා ඇති ක්‍රියා පටිපාටි අවශ්‍යතාවන්ගෙන් නිදහස් කිරීම මගින් සාමාන්‍ය අවස්ථා යටතේ ආමුඛ ආයෝජන ගිණුමක් හරහා අරමුදල් ලැබීමකින් තොර ව එම අරමුදල් සෘජු ව ම විශේෂ තැන්පතු ගිණුමකට බැර කිරීමට බලයලත් වෙළෙන්දකු හට අවස්ථාව ලබා දෙයි. එකී නියෝග මගින් බලයලත් වෙළෙඳුන් විදේශ විනිමය පනතෙහි විධිවිධාන සමග අනුකූලවීමේ අවශ්‍යතාවෙන් නිදහස් නො වනු ඇත.

මේ සම්බන්ධයෙන්, විදේශ විනිමය පනතෙහි 7(6) වගන්තියට අනුව, යම් ප්‍රාග්ධන ගනුදෙනුවක් වෙනත් ඕනෑ ම නියාමන නීතියකට අනුකූල බවට සෑහීමට පත්වීමේ සාධාරණ අවශ්‍යතාවක් වේ නම්, එම ගනුදෙනුවෙහි යෙදෙන පුද්ගලයාගෙන් තොරතුරු/ලිපිලේඛන සපයන ලෙස හෝ යම් ප්‍රකාශයක් සිදු කරන ලෙස ඉල්ලා සිටීම බලයලත් වෙළෙන්දා විසින් සිදු කිරීම අවශ්‍ය වේ. විදේශ විනිමය පනතෙහි 9(5) වගන්තියට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාන සහ නිරීක්ෂණ කටයුතු සඳහා බලයලත් වෙළෙන්දකු විසින් යෙදෙන ලද ඕනෑ ම විදේශ විනිමය ගනුදෙනුවක් සම්බන්ධයෙන් අවශ්‍ය තොරතුරු එම බලයලත් වෙළෙන්දා විසින් අවුරුදු හයක කාලයක් තබා ගැනීම අවශ්‍ය වේ.

ඉහත දක්වා ඇති කරුණු අනුව, මුදල් විශුද්ධිකරණය වැළැක්වීම/ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම පිළිබඳ ව ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය මගින් නිකුත් කර ඇති නියෝග, රීති, මාර්ගෝපදේශ යනාදිය මෙන් ම විදේශ විනිමය පනතෙහි විධිවිධාන යටතේ යෙදෙන අවශ්‍යතාවන්ට, විශේෂ තැන්පතු ගිණුම් පිළිබඳ ව ඇති නියෝගවලින් කෙරෙන නිදහස් කිරීම් අදාළ නො වන බව ශ්‍රී ලංකා මහ බැංකුව යළිත් අවධාරණය කර සිටියි. එබැවින්, එම නීති සහ අවශ්‍යතාවන් දැඩි ව අනුගමනය කරමින් විශේෂ තැන්පතු ගිණුම් විවෘත කිරීම සහ පවත්වා ගෙන යෑම අවශ්‍ය වේ.

Published Date: 

Friday, July 3, 2020