Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය 2020 සැප්තැම්බර් මාසයේ දී පහළ යන ලදී

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 අගෝස්තු මාසයේ පැවති සියයට 4.1හි සිට 2020 සැප්තැම්බර් මාසයේ දී සියයට 4.0 දක්වා සුළු වශයෙන් පහළ ගියේය. 2019 සැප්තැම්බර් මාසයේ පැවති ඉහළ පදනම් අගය හේතුවෙන් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා හේතු විය. ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2020 අගෝස්තු මාසයේ පැවති සියයට 12.3හි සිට 2020 සැප්තැම්බර් මාසයේ දී සියයට 11.5 දක්වා පහළ ගියේය. එසේ වුවද, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2020 අගෝස්තු මාසයේ පැවති සියයට 0.8හි සිට 2020 සැප්තැම්බර් මාසයේ දී සියයට 0.9 දක්වා ඉහළ ගියේය.

වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන කො.පා.මි දර්ශකයෙහි වෙනස ද, 2020 අගෝස්තු මාසයේ පැවති සියයට 4.8හි සිට 2020 සැප්තැම්බර් මාසයේ දී සියයට 4.7 දක්වා පහළ ගියේය.

මූඩීස් ඉන්වෙස්ටර්ස් සර්විස් ආයතනය මගින් ශ්‍රී ලංකාවේ ශ්‍රේණිගත කිරීම පහත හෙළීම සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාරය

මූඩීස් ඉන්වෙස්ටර්ස් සර්විස් ආයතනය විසින් ශ්‍රී ලංකාවේ ස්වෛරී ශ්‍රේණිගත කිරීම පිළිබඳ ව කරන ලද නිවේදනයෙන් පසු ව ඒ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය දැක්වූ ප්‍රතිචාරය පහත සබැඳියෙන් ලබා ගත හැක.

'ශ්‍රී ලංකා සමාජ ආර්ථික දත්ත - 2020' ප්‍රකාශනය නිකුත් වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ, 'ශ්‍රී ලංකා සමාජ ආර්ථික දත්ත - 2020' වාර්ෂික ප්‍රකාශනයේ 43 වෙනි වෙළුම පොදු මහජන පරිශීලනය සඳහා දැන් නිකුත් කර ඇත. 

පහසුවෙන් ගෙන යා හැකි අයුරින් සකස් කොට ඇති මෙම ප්‍රකාශනයෙහි, ශ්‍රී ලංකාවේ මූලික තොරතුරු, මූලික ආර්ථික දර්ශක, ලෝකයේ අනෙකුත් රටවල් සමඟ ශ්‍රී ලංකාවේ තත්ත්වය, සමාජ ආර්ථික තත්ත්වයන්, මානව සම්පත් තොරතුරු, ජාතික ගිණුම්, කෘෂිකර්මය, කර්මාන්ත, ආර්ථික හා සමාජ යටිතල පහසුකම්, මිල සහ වැටුප්, විදේශ වෙළඳාම සහ සංචාරක කර්මාන්තය, විදේශ මූල්‍ය, රාජ්‍ය මූල්‍ය කටයුතු, මූල්‍ය හා බැංකු  යන ශීර්ෂ 14 ක් යටතේ නවතම දත්ත ඇතුළත් වේ. 

ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය 2020 අගෝස්තු මාසයේ දී ඉහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (2013=100)  වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 ජූලි මාසයේ පැවති සියයට 6.1හි සිට 2020 අගෝස්තු මාසයේ දී සියයට 6.2 දක්වා සුළු වශයෙන් ඉහළ ගියේ ය. ආහාර සහ ආහාර නො වන කාණ්ඩයන්හි අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් මේ සඳහා හේතු විය. මේ අතර, 2020 ජූලි මාසයේ දී සියයට 12.9හි පැවති ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය, 2020 අගෝස්තු මාසයේ දී සියයට 13.2 දක්වා ඉහළ ගිය අතර, ආහාර නො වන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2020 ජූලි මාසයේ පැවති සියයට 1.0හි සිට 2020 අගෝස්තු මාසයේ දී සියයට 1.1 දක්වා ඉහළ ගියේ ය

ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය - 2020 අගෝස්තු

2020 අගෝස්තු මාසයේ දී නිෂ්පාදන සහ සේවා යන ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක වර්ධනය විය.

රටේ ව්‍යාපාරික කටයුතු යථාවත් වීම හේතු කොට ගෙන 2020 අගෝස්තු මාසයේ දී නිෂ්පාදන ක්‍රියාකාරකම්වල සිදු වූ අඛණ්ඩ වර්ධනය, නිෂ්පාදන අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකයෙන් පිළිබිඹු විය. නව ඇණවුම් සහ නිෂ්පාදන යන උපදර්ශක දෙක ම 2020 අගෝස්තු මාසයේ දී ඉහළ ගිය අතර සේවා නියුක්තිය උපදර්ශකයේ කැපී පෙනෙන වර්ධනයක් දක්නට ලැබුණි.

විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2020 ජූලි

වෙ‍ළෙඳ භාණ්ඩ ආනයන වියදම අඩු වීම හමුවේ වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම සහ විදේශ සේවා නියුක්තිකයින්ගේ  ප්‍රේෂණ ඉහළ යෑම හේතුවෙන්  2020 වසරේ ජූලි මාසයේ දී ශ්‍රී ලංකාවේ විදේශීය අංශය තවදුරටත් යථා තත්ත්වයට පත් විය. කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ වුව ද, කැපී පෙනෙන වර්ධනයන් කිහිපයක් නිරීක්ෂණය කරන ලදී. වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම 2020 වසරේ ජනවාරි සිට ප්‍රථම වරට ජූලි මාසයේ දී එක්සත් ජනපද ඩොලර් බිලියනය ඉක්මවා ගිය අතර, 2020 වසරේ පෙබරවාරි මාසයෙන් පසු ප්‍රථම වරට වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත ධනාත්මක වර්ධනයක් වාර්තා කළේ ය. අත්‍යවශ්‍ය නො වන භාණ්ඩ ආනයන සීමා කිරීම් තවදුරටත් ක්‍රියාත්මක වීම හමුවේ අපේක්ෂා කළ පරිදි වෙළෙඳ භාණ්ඩ ආනයන පහළ මට්ටමක පැවතියේ ය. 2020 වසරේ ජූලි මාසයේ දී විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණවල සැලකිය යුතු වැඩි වීමක් දක්නට ලැබුණු අතර, එය 2018 ජනවාරි මාසයේ සිට වාර්තා වූ ඉහළ ම මාසික ප්‍රේෂණ ප්‍රමාණයයි. මේ අතර, 2020 වසරේ ජූලි මාසය අවසානය වන විට ඉන්දියානු සංචිත බැංකුව වෙතින් දකුණු ආසියානු කලාපීය සහයෝගීතා මූල්‍ය සංවිධානය (SAARCFINANCE) යටතේ වූ විදේශ විනිමය හුවමාරු පහසුකම ලැබීමත් සමඟ රටේ දළ නිල සංචිත ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 7.1ක් දක්වා ඉහළ ගියේ ය.

Pages

නිවේදන