Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

ඊ ටී අයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනයේ සහ ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් පී.එල්.සී ආයතනයේ ව්‍යාපාර කටයුතු අත්හිටුවීම

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 31 වන වගන්තිය ප්‍රකාරව, 2020 ජූලි මස 13 වන දින සි‍ට බලපැවැත්වෙන පරිදි ඊ ටී අයි ෆිනෑන්ස් ලිමිටඩ් සහ ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් පී.එල්.සී යන ආයතන දෙකෙහි ව්‍යාපාර කටයුතු අත්හිටුවීම සඳහා 2020 ජූලි මස 10 වන දින තීරණය කරන ලදී.

2011 වසරේ සිට පැවති විවිධ අක්‍රමිකතා හේතුකොටගෙන ඊ ටී අයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය සහ ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් පී.එල්.සී ආයතනය මේ වන වි‍ට බංකොලොත්භාවයට පත්ව ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එම ආයතන යථා තත්වයට පත් කිරීම සඳහා සපයන ලද මාර්ගෝපදේශන සඳහා සෑහීමකට පත්විය හැකි පිළියම් යෙදීමට මෙම ආයතන වල අධ්‍යක්ෂ මණ්ඩලය සහ කළමනාකාරීත්වය දිගින් දිගටම අපොහොසත් වීම නිසා 2018 ජනවාරි 02 වන දින ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් එකී ආයතන වල මෙහෙයුම් කටයුතු සීමා කිරීම, අධ්‍යක්ෂ මණ්ඩලයේ බලතල සීමා කිරීම මෙන්ම එම ආයතන කටයුතු අධීක්ෂණය සඳහා කළමනාකාර මණ්ඩලයක් පත් කරන ලදි.

විශේෂ තැන්පතු ගිණුම් විවෘත කිරීම දිරිගැන්වීම සඳහා තවදුරටත් ගෙන ඇති ක්‍රියාමාර්ග

රට තුළ ව්‍යාප්ත වූ කොවිඩ් - 19 (Covid - 19) වසංගත තත්ත්වයේ බලපෑම්වලින් මිදීම සඳහා ක්‍රියාත්මක ජාතික ප්‍රයත්නයට සහාය ලබා ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා රජය විසින් 2020.04.08 දින විශේෂ තැන්පතු ගිණුම හඳුන්වා දෙන ලදී. ඒ සඳහා යහපත් ප්‍රතිචාර ලැබෙමින් පවතින බව දැකිය හැකි අතර, මේ වන විට ආසන්න වශයෙන් ඇ.එ.ජ. ඩොලර් මිලියන 87 ක මුදලක් විශේෂ තැන්පතු ගිණුම් සඳහා ශ්‍රී ලංකාව වෙත ලැබී ඇත.

ශ්‍රී ලංකා රජය, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විමසීමෙන් පසුව, විශේෂ තැන්පතු ගිණුම් විවෘත කිරීම දිරිගැන්වීම සඳහා තවදුරටත් පහත දක්වා ඇති ක්‍රියාමාර්ග ගෙන ඇත.

සම්පුර්ණ ලිපිය

ශ්‍රී ලංකා මහ බැංකුව කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් ව්‍යාපාර සඳහා රුපියල් බිලියන 60ක් කාරක ප්‍රාග්ධන ණය ලෙස අනුමත කරයි

2020 ජූලි 10 දිනෙන් අවසන් වූ සතිය තුළ දී නව ණය අයදුම්පත් 2,066ක් සඳහා රුපියල් මිලියන 6,978ක මුදල් ප්‍රමාණයක් අනුමත කිරීමත් සමඟ 2020 ජූලි මස 10 වන දින වන විට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් “සෞභාග්‍යා කොවිඩ්-19 පුනරුද ණය සහන” පහසුකම යටතේ ව්‍යාපාර 22,306ක් සඳහා රුපියල් මිලියන 60,250ක මුදල් ප්‍රමාණයක් අනුමත කරන ලදී. 2020 ජූලි මස 09 වන දින වන විට දී බලපත්‍රලාභී බැංකු විසින් ව්‍යාපාර 13,333ක් අතරේ රුපියල් මිලියන 30,528ක මුදල් ප්‍රමාණයක්  මුදා හැර තිබුණි. 

ශ්‍රී ලංකා මහ බැංකුව, රජය හා එක්ව කොවිඩ්-19 වසංගතය හේතුවෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ ව්‍යාපාර සඳහා බලපත්‍රලාභී වාණිජ බැංකු හරහා සියයට හතරක (4%) වාර්ෂික පොලී අනුපාතිකයක් යටතේ කාරක ප්‍රාග්ධන ණය පහසුකම් සැපයීමට, “සෞභාග්‍යා කොවිඩ්-19 පුනරුද ණය සහන” යෝජනා ක්‍රමය හඳුන්වා දුන් අතර, එය රටෙහි ආර්ථික කටයුතු නැවත නඟා සිටුවීමට ඉවහල් වනු ඇත. වාර්ෂික පිරිවැටුම රුපියල් බිලියනයට වඩා අඩු ස්වයං රැකියා සහ තනි පුද්ගල ව්‍යාපාර ඇතුළු කොවිඩ්-19 වසංගතය හේතුවෙන් පීඩාවට පත් වූ ඕනෑම ව්‍යාපාරයක්  සඳහා මෙම යෝජනා ක්‍රමය යටතේ ණය සහන ලබා ගත හැකිය. මෙම රුපියල් බිලියනයක වාර්ෂික පිරිවැටුමේ සීමාව සංචාරක, අපනයන සහ ඒ ආශ්‍රිත සේවාවන් සපයන ව්‍යාපාර සඳහා අදාළ නොවේ. 

මුදල් ප්‍රතිපත්ති විවරණය- 2020 ජූලි

ශ්‍රී  ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2020 ජූලි 08 වැනි දින පැවති රැස්වීමේ දී, ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 4.50 සහ සියයට 5.50 දක්වා පදනම් අංක 100කින් අඩු කිරීමට තීරණය කළේය. වෙළඳපොළ ණය අනුපාතික තවදුරටත් පහළ හෙලීම මගින් ආර්ථිකයේ ඵලදායී අංශ වෙත කඩිනමින් ණය ලබා දීම සඳහා මූල්‍ය පද්ධතිය දිරිමත් කිරීමේ අරමුණින් යුතුව අඩු උද්ධමනයක් පවතින වාතාවරණයක්  යටතේ මුදල් මණ්ඩලය මෙම තීරණයට එළඹිණි. එමඟින් කොවිඩ්-19 මගින් බලපෑමට ලක් වූ ව්‍යාපාර සඳහා මෙන්ම පුළුල් ආර්ථිකයට වන සහාය වඩාත් ශක්තිමත් කෙරෙනු ඇත.

මුදල් ව්‍යාපාර සහ කල්බදු මුල්‍යකරණ ව්‍යාපාර සම්බන්ධ ව පවත්නා අවිධිමත් සහ නීති විරෝධී කටයුතු ගැන සොයා බලා ගත යුතු ක්‍රියා මාර්ග ඉදිරිපත් කිරීම සඳහා වූ කමිටුව

කල්බදු මුල්‍යකරණ ව්‍යාපාරයේ මෑත කාලීන ක්‍රියාකාරකම් සැලකිල්ලට ගනිමින්, මුල්‍ය හා කල්බදු මුල්‍යකරණ ව්‍යාපාරයේ නීති විරෝධී සහ අවිධිමත් ක්‍රියාකාරකම් පිළිබඳ ව සොයා බලා වාර්තා කිරීම සහ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිතුමා විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරන ලදී.

ශී‍්‍ර ලංකා මහ බැංකුව බ්ලොක්චේන් තාක්‍ෂණය පදනම් ගත් ගනුදෙනුකරුවන් හඳුනාගැනීම සඳහා වු සංකල්ප සාධන කි‍්‍රයාවලිය ආරම්භ කරයි

2020 ජුලි 07 වන දින ශී‍්‍ර ලංකා මහ බැංකුව බ්ලොක්චේන් තාක්‍ෂණය (Blockchain Technology) පදනම් කරගත් ගනුදෙනුකරු හඳුනාගැනීමේ (Know-Your-Customer- KYC) කි‍්‍රයාවලිය ආරම්භ කිරීම සඳහා ගිවිසුම් අත්සන් කරන ලදි. ශී‍්‍ර ලංකා මහ බැංකුව 2018 වර්ෂයේදී බ්ලොක්චේන් තාක්‍ෂණයෙන් මුල්‍ය කටයුතු සඳහා ලබා ගත හැකි ප‍්‍රතිලාභ හඳුනාගන්නා ලද අතර, බැංකු සහ තොරතුරු තාක්‍ෂණ ක්‍ෂේත‍්‍රයන්හි ස්වේච්ඡා සහභාගීත්වයෙන් බ්ලොක්චේන් තාක්‍ෂණය පිළිබඳ අන්තර්-ක්‍ෂේත‍්‍ර අධ්‍යනයක් ආරම්භ කරන ලදි.  ශී‍්‍ර ලංකාවේ බ්ලොක්චේන් තාක්‍ෂණය පදනම් කරගත් මුල්‍ය  සේවාවලට මග පෑදීම සඳහා ශී‍්‍ර ලංකා මහ බැංකුව මෙලෙස ගනුදෙනුකරු හඳුනා ගැනීමට පහසු කි‍්‍රයාවලියක් සකස් කිරීමට තීරණය කරනු ලැබීය.  ඒ අනුව, ශී‍්‍ර ලංකා මහ බැංකුව බ්ලොක්චේන් තාක්‍ෂණය පදනම් කර ගත් සේ්වාවන් වලට මගපෑදීම සඳහා ගනුදෙනුකරු හඳුනාගැනීමේ ඩිජිටල් ක‍්‍රමවේදයන් සකස් කිරීම පිළිබඳ අත්දැකීම් ඇති සමාගම් වලට මෙම ව්‍යාපෘතිය සඳහා ස්වේච්ඡා පදනමක් මත සම්බන්ධ වන ලෙස ආරාධනය කරමින් දැන්වීම් පල කරනු ලැබිණි. මෙලෙස ලැබුණු අයදුම්පත් රාශියක් අතරින්, ශී‍්‍ර ලංකා මහ බැංකුව විසින් සමගාමීව සංකල්ප සාධනයන් (Proof of Concept-POC) නිර්මාණය කිරීම සඳහා අයදුම්කරුවන් තිදෙනෙකු තෝරා ගන්නා ලදි.

Pages