අසමත් වූ මුදල් සමාගම්වල තැන්පතුකරුවන් වෙත ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වැඩි කරන ලද වන්දි මුදල් ගෙවීම ආරම්භ කෙරෙයි

ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය යටතේ වැඩි කරන ලද රුපියල් ලක්ෂ 5ක (රු. 500,000/-) වන්දි මුදල ගෙවීම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මේ වන විට ආරම්භ කර ඇත. එහි දී සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් ලිමිටඩ්, ද ස්ටෑන්ඩර්ඩ් ක්‍රෙඩිට් ෆිනෑන්ස් ලිමිටඩ්, ටී. කේ. එස්. ෆිනෑන්ස් ලිමිටඩ්, ද ෆිනෑන්ස් කම්පනි පී.එල්.සී., ඊ.ටී.අයි. ෆිනෑන්ස් ලිමිටඩ් සහ ස්වර්ණමහල් ෆිනෑන්ෂල් සර්විසස් පී.එල්.සී. යන ආයතනවල තැන්පතුකරුවන් / අදාළ නීත්‍යනුකූල තැන්පතු උරුමකරුවන් වෙත එම වන්දි මුදල් ගෙවනු ලැබේ.

ඒ අනුව අපගේ 2021.04.04 දිනැති පුවත්පත් නිවේදනයේ දැක්වෙන පරිදි නියමිත කැමැත්ත ප්‍රකාශ කිරීමේ පෝරම සහ අනෙකුත් අවශ්‍ය ලේඛන ඉදිරිපත් කිරීමෙන් පසු සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් ලිමිටඩ්, ද ස්ටෑන්ඩර්ඩ් ක්‍රෙඩිට් ෆිනෑන්ස් ලිමිටඩ්, ටී.කේ.එස්. ෆිනෑන්ස් ලිමිටඩ් යන ආයතන තුනෙහි තැන්පතුකරුවන්ට / නීත්‍යනුකූල තැන්පතු උරුමකරුවන්ට වන්දි මුදල් ගෙවීම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මේ වන විට ද සිදු කෙරෙමින් පවතී. ද ෆිනෑන්ස් කම්පනි පී.එල්.සී., ඊ.ටී.අයි. ෆිනෑන්ස් ලිමිටඩ් සහ ස්වර්ණමහල් ෆිනෑන්ෂල් සර්විසස් පී.එල්.සී. යන ආයතන තුනෙහි තැන්පතුකරුවන්ට / නීත්‍යනුකූල තැන්පතු උරුමකරුවන්ට වන්දි මුදල් ගෙවීම සිදු කෙරෙනුයේ එම කාර්යය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජිත බැංකුව ලෙස පත් කර ඇති මහජන බැංකුව මගින් දිවයින පුරා පිහිටි එහි ශාඛා ජාලය හරහා ය.

ඊ.ටී.අයි. ෆිනෑන්ස් ලිමිටඩ් හි තැන්පතුකරුවන්ට / නීත්‍යනුකූල තැන්පතු උරුමකරුවන්ට 2021.04.09 එනම් හෙට දින සිට ද, ද ෆිනෑන්ස් කම්පනි ආයතනයේ තැන්පතුකරුවන්ට / නීත්‍යනුකූල තැන්පතු උරුමකරුවන්ට 2021.04.12 දින සිට ද තමන්ට හිමි වන්දි මුදල් ලබා ගත හැකි අතර ස්වර්ණමහල් ෆිනෑන්ෂල් සර්විසස් පී.එල්.සී. ආයතනයේ තැන්පතුකරුවන්ට / නීත්‍යනුකූල තැන්පතු උරුමකරුවන්ට වන්දි මුදල් ගෙවීම ද නුදුරු දිනකදී ආරම්භ කෙරෙනු ඇත.

ඊ.ටී.අයි. ෆිනෑන්ස් ලිමිටඩ් හි තැන්පතුකරුවන්ගේ /නීත්‍යනුකූල තැන්පතු උරුමකරුවන්ගේ පහසුව උදෙසා 2021.04.10 වැනි සෙනසුරාදා දින පෙරවරු 9.00 සිට පස්වරු 2.00 දක්වා තම සියලුම ශාඛා විවෘතව තැබීමට මහජන බැංකුව එකඟ වී ඇත.

ඒ අනුව ඉහත තත්වයන්ට යටත්ව, අදාළ දිනවල දී, නියමිත ලේඛන ඉදිරිපත් කර තමන්ට හිමි වන්දි මුදල් ලබා ගන්නා ලෙස සුදුසුකම් ලත් තැන්පතුකරුවන් / නීත්‍යනුකූල තැන්පතු උරුමකරුවන් වෙත මෙයින් දැනුම් දෙනු ලැබේ.  එසේම මහජන බැංකු ශාඛා පරිශ්‍රයන්හි පිරිස් වශයෙන් රැස් නොවන ලෙසටත්, සෞඛ්‍ය ආරක්ෂණ උපදෙස් නිසි ලෙස පිළිපදින ලෙසටත් ඉල්ලා සිටිනු ලැබේ.

පහත දුරකථන අංකවලට ඇමතීමෙන් මේ පිළිබඳ වැඩි විස්තර ලබා ගත හැකි ය.

අධ්‍යක්ෂ

නිරාකරණ සහ බලගැන්වීම් දෙපාර්තමේන්තුව

ශ්‍රී ලංකා මහ බැංකුව, කොළඔ 01.                                     0112 477 000 / 0112 477 261 / 0112 398 788

Published Date: 

Thursday, April 8, 2021