චීන මහජන බැංකුව සමඟ ශ්‍රී ලංකා මහ බැංකුව ද්විපාර්ශ්වික මුදල් හුවමාරු ගිවිසුමකට එළඹෙයි

දෙරටේ ආර්ථික සංවර්ධනය සඳහා ද්විපාර්ශ්වික වෙළෙඳාම සහ සෘජු ආයෝජන ප්‍රවර්ධනය කිරීමටත්, දෙපාර්ශ්වයේ ම එකඟතාව මත වෙනත් අරමුණු සඳහා භාවිත කිරිමට හැකි වන පරිදිත්,  ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) සහ චීන මහජන බැංකුව (PBoC) ද්විපාර්ශ්වික මුදල් හුවමාරු ගිවිසුමකට එළඹෙන ලදී. මහජන චීන ජනරජය ශ්‍රී ලංකාවේ විශාලතම ආනයන ප්‍රභවය වේ. 2020 දී, චීනයෙන් කරනු ලැබූ ආනයන වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 3.6ක් විය (ශ්‍රී ලංකාවේ ආනයනයන්ගෙන් 22.3%).

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ නිර්දේශය මත, මෙම හුවමාරු ගිවිසුමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත. මහ බැංකු දෙකෙහි අධිපතිවරුන් වන ශ්‍රී ලංකා මහ බැංකු අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතා සහ  චීන මහජන බැංකු අධිපති ආචාර්ය යී  ගැන්ග් මහතා මෙම ගිවිසුමෙහි අත්සන්කරුවන් වේ.

මෙම ගිවිසුම යටතේ, ශ්‍රී ලංකා මහ බැංකුව උපරිම වශයෙන් චීන යුවාන් බිලියන 10ක (ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක) මුදල් හුවමාරු පහසුකමකට හිමිකම් ලබා ඇත. මෙම ගිවිසුම වසර තුනක (3) කාල සීමාවක් සඳහා වලංගු වේ.

Published Date: 

Monday, March 22, 2021