ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර සහ රජය විසින් දේශීය බැංකු මගින් ලබා ගත් විදේශීය ව්‍යවහාර මුදලින් නාමනය කරන ලද ණය සඳහා සිදු කළ යුතු ණය සේවාකරණ ගෙවීම් පිළිබඳ සාවද්‍ය පුවත්පත් වාර්තාව

ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර සහ රජය විසින් දේශීය බැංකු මගින් ලබා  ගත් විදේශීය ව්‍යවහාර මුදලින් නාමනය කරන ලද ණය සඳහා ආපසු ගෙවිය යුතු මුදල් පියවීම සැලසුම් සහගත ව ප්‍රමාද කිරීම පිළිබඳ සාවද්‍ය සහ සනාථ නො කළ වාර්තාවක් අද එක්තරා පුවත්පතක් ප්‍රකාශයට පත් කොට ඇති බව මහ බැංකුව විසින් කණස්සල්ලෙන් යුතු ව නිරීක්ෂණය කරන ලදී.

ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර සහ රජය විසින් දේශීය බැංකු මගින් ලබා ගත් විදේශීය ව්‍යවහාර මුදලින් නාමනය කරන ලද ණය වෙනුවෙන් සිදු කළ යුතු ණය සේවාකරණ ගෙවීම්, පොළී සහ ණය වාරික, මෙන් ම අනෙකුත් රජයේ ණය වගකීම් නියමිත පරිදි සිදු කරනු ලබන බවට ආයෝජකයින් සහ පොදු මහජනතාව වෙත ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම් දෙනු ලැබේ. එම පුවත්පතෙහි සදහන් වූ පරිදි අදාළ ගෙවීම් පමා කිරීම හෝ කල් දැමීම සඳහා කිසි ම සැලසුමක් නොමැති බැවින්, එම පුවත්පත් වාර්තාව මුළුමනින් ම සාවද්‍ය සහ පදනම් විරහිත අන්තර්ගතයකින් සමන්විත එකකි. කල් පිරෙන ණය ගෙවීම් පමා කිරීම තුළින් රජයේ නො කැලැල් ණය සේවාකරණ වාර්තාව විනාශ වී යාමට ඉඩ දීමට රජයේ කිසිදු අදහසක් නොමැත. ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර සහ රජය විසින් දේශීය බැංකු මගින් ලබා ගත් විදේශීය ව්‍යවහාර මුදලින් නාමනය කරන ලද ණය සම්බන්ධයෙන් 2021 වසරේ මේ දක්වා කාල සීමාව තුළ දී  එක්සත් ජනපද ඩොලර් මිලියන 1,200 කට ආසන්න ණය සේවාකරණ ගෙවීම් ප්‍රමාණයක් දැනටමත් සිදු කර ඇති අතර ඉදිරියේ දී සිදු කිරීමට නියමිත ණය සේවාකරණ වගකීම් සියල්ල කිසි ම පමාවකින් තොරව නිසි පරිදි සිදු කෙරෙනු ඇත.

මෙම පදනම් විරහිත සහ සාවද්‍ය පුවත්පත් වාර්තා පිළිනො ගෙන බැහැර  කරන ලෙසට ආයෝජකයින් සහ පොදු මහජනතාව වෙත දැනුම් දෙනු ලැබේ.

Published Date: 

Sunday, April 4, 2021