Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

කො.පා.මි.ද. මත පදනම් වූ උද්ධමනය 2021 ඔක්තෝබර් මාසයේදී සියයට 7.6 දක්වා ඉහළ යන ලදී

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 සැප්තැම්බර් මාසයේ පැවති සියයට 5.7හි සිට 2021 ඔක්තෝබර්  මාසයේ දී සියයට 7.6 දක්වා ඉහළ ගියේය. ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ ඉහළ යෑම් මේ සඳහා හේතු විය. ඒ අනුව, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 සැප්තැම්බර් මාසයේ පැවති සියයට 10.0හි සිට 2021 ඔක්තෝබර් මාසයේ දී සියයට 12.8 දක්වා ඉහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 සැප්තැම්බර් මාසයේ පැවති සියයට 3.8හි සිට 2021 ඔක්තෝබර් මාසයේ දී සියයට 5.4 දක්වා ඉහළ ගියේය.

මහ බැංකුව අපනයන ආදායම් ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කිරීම හා සම්බන්ධ නව රීති නිකුත් කරයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 1949 අංක 58 දරන මුදල් නීති පනත යටතේ අපනයන ආදායම් රුපියල්වලට පරිවර්තනය කිරීම සම්බන්ධයෙන් නිකුත් කර ඇති රීතින් අවලංගු කරමින්, 2021 ඔක්තෝම්බර් 28 දිනැති අංක 2251/42 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කර ඇති පරිදි නව රීති නිකුත් කරන ලදි. නව රීති ශ්‍රී ලංකාවේ භාණ්ඩ අපනයනකරුවන් හා සේවා අපනයනකරුවන් යන දෙපිරිසටම අදාළ වේ.

අසාර්ථක බලපත්‍රලාභී මූල්‍ය සමාගම් පුනර්ජීවනය සඳහා උපදේශන කමිටුවක් පිහිටුවයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් අසාර්ථක මූල්‍ය සමාගම් පුනර්ජීවනය සඳහා සුදුසු විකල්ප පිළිබඳ සොයා බැලීම පිණිස උපදේශන කමිටුවක් පිහිටුවා ඇත. 

ව්‍යාපාරික අංශයේ ප්‍රවීණයන් හතර දෙනෙකුගෙන් කමිටුව සමන්විත අතර සීමාසහිත සී බී සී ෆිනෑන්ස් ලිමිටඩ්හි සභාපති, ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති සහ කොමර්ෂල් බැංකුවේ හිටපු සභාපති ධර්ම ධීරසිංහ මහතා විසින් එහි සභාපතිත්වය දරනු ලබයි. ප්‍රයිස්වෝටර්හවුස්කූපර්ස්හි කළමනාකාර හවුල්කරු සුජීව මුදලිගේ මහතා; මුවර් ස්ටීවන්ස් කන්සල්ටින් (පුද්ගලික) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ටිෂාන් සුබසිංහ මහතා සහ වරලත් ගණකාධිකාරීවරුන් වන අමරසේකර සහ සමාගමේ ජ්‍යෙෂ්ඨ හවුල්කරු (විගණනය සහ සහතික කිරීම්) ත්‍යාගරාජා ධර්මරාජා මහතා කමිටුවේ අනෙකුත් සාමාජිකයෝ වෙති.

ශ්‍රී ලංකා මහ බැංකුව බ්ලොක්චේන් තාක්‍ෂණය පදනම් කර ගත් ගනුදෙනුකරුවන් හඳුනා ගැනීමේ හවුල් යාන්ත්‍රණය සඳහා සංකල්ප සාධනය නිර්මාණය කිරීම සහ පරීක්ෂා කිරීමේ ක්‍රියාවලිය සාර්ථකව නිමා කරයි

බ්ලොක්චේන් තාක්‍ෂණය (Blockchain Technology) පදනම් කර ගත් ගනුදෙනුකරුවන් හඳුනා ගැනීමේ හවුල් යාන්ත්‍රණය (Shared Know-Your-Customer- (KYC)) සඳහා සංකල්ප සාධනය (Proof of Concept (POC))  පිළිබඳ  වාර්තාව 2021 ඔක්තෝබර් මස 25 වන දින ජාතික ගෙවීම් කවුන්සිලයේ සභාපතිනිය වන ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ඉවෙට් ප්‍රනාන්දු මහත්මිය විසින් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා වෙත පිළිගන්වන ලදී. මෙම අවස්ථාව සඳහා මහ බැංකු කළමනාකාරිත්වය ඇතුළු නිලධාරීන් සහභාගී වූ අතර,  සංකල්ප සාධන පරීක්ෂණ සඳහා දායක වූ බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීන් ඇතුළු අනිකුත් නිලධාරීන් මෙන් ම සංකල්ප සාධනය සංවර්ධනය සඳහා දායක වූ කණ්ඩායම් ද අන්තර්ජාලය හරහා සහභාගී විය. 

මූඩීස් ආයතනයේ කාලානුරූපී නො වන සහ පිළිගත නො හැකි ශ්‍රේණිගත කිරීම පක්ෂග්‍රාහීභාවය පි‍ළිබඳ ගැටලු නැවත ඉස්මතු කරයි

මූඩීස් ආයෝජන සේවාව විසින් මෑතක දී සිදු කරන ලද ණය ශ්‍රේණිගත කිරීමේ ඇගයීම සහ එය පාදක කොට ගෙන සිදු කරන ලද ණය ශ්‍රේණිගත කිරීම පිළිබඳ ව ශ්‍රී ලංකා රජය දැඩි අප්‍රසාදය පළ කරයි. මෙම ක්‍රියාවලිය, මෙයට මාස තුනකට පෙර මේ ආකාරයට ම ණය ශ්‍රේණිගත කිරීම පහත හෙලීම සඳහා සමාලෝචනයකට යටත් j පවත්වා ගැනීමෙන් අනතුරු ව සිදු කර ඇත. නැවත වතාවක් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මූඩීස් ආයතනයේ අතාර්කික ශ්‍රේණිගත කිරීම වැදගත් සිදු වීමකට දින කිහිපයකට පෙර, එනම් 2022 වසර සඳහා වන රජයේ අයවැය ප්‍රකාශයට පත් කිරීමට පෙර සිදු වීම තුළින් ඔවුනට ඇති අනවශ්‍ය ඉක්මන්භාවය පෙන්නුම් කරන අතර ම, රජයේ මූල්‍යන සැලසුම්වලට අයවැයේ ස්වභාවය අදාළ නො වන බවට මූඩීස් විශ්ලේෂකයින් සමඟ සිදු කරන ලද සාකච්ඡාවල දී ඔවුන්ගෙන් ප්‍රකාශ වූ මතය පැහැදිලි ව ම එවැනි විශ්ලේෂකයින්ගේ පවත්නා අනවබෝධය විදහා දක්වයි. මෙමගින් මෙවැනි ආයතනවල පාලනයේ ඇති දුර්වලතා පිළිබිඹු කෙරෙන අතර, මෙම ආයතන නැගී එන වෙළෙඳපොළ ආර්ථිකයන්හි ධනාත්මක වර්ධනයන් සහ අපේක්ෂාවන් ක්‍රමානුකූල ව නො සලකා හැර සෘණාත්මක අවදානම් සඳහා වැඩි බරක් යොදවන බව පෙන්නුම් කරයි.

මූල්‍ය වංචාවලින් ප්‍රවේශම් වන්න

විවිධ සංවිධානාත්මක පාර්ශ්ව විසින් ඔවුන්ගේ ගිණුම්වලට, විශාල පරිමාණයෙන් විදේශ විනිමය සහ/හෝ දේශීය මුදල් බැර කර ඇති බවත් එම ගිණුම් තාවකාලික ව අත්හිටුවා ඇති බවත්  දක්වමින් සහ එම මුදල් නිදහස් කර ගැනීම සඳහා සහය දෙන්නන් හට ප්‍රමාණාත්මක ගෙවීමක්  සිදු කරන බවට දැනුම් දෙමින් සිදු කරන මුල්‍ය වංචා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත තොරතුරු ලැබෙමින් පවතී. ඇතැම් අවස්ථාවල දී  එම වංචාකරුවන්  විශාල මුදල් ප්‍රමාණයක් විවිධ ගිණුම් වෙත බැර වී  ඇති බව දැක්වෙන  ව්‍යාජ ලේඛන පෙන්වා සිටින අතර  ඔවුන්ට එම මුදල් ආපසු ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරය ලබා ගැනීම පමණක් අවශ්‍ය වන බව පවසනු ලබයි.

Pages