Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර සෘජු නිකුතුව ඔස්සේ රැස් කළ අරමුදල්

ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර තුළ ආයෝජන දිරිමත් කිරීම සඳහා විවිධ ක්‍රියාමාර්ග ශ්‍රී ලංකා මහ බැංකුව විසින් හඳුන්වා දෙන ලදී. එම ක්‍රියාවන්හි සාර්ථකත්වය පෙන්නුම් කරමින් 2022 ජනවාරි මස 01 වනදා සිට පෙබරවාරි මස 15 වනදා වනවිට එක්සත් ජනපද ඩොලර් මිලියන 111.5ක අරමුදලක් ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර සෘජු නිකුතුව ඔස්සේ රැස් කර ගැනීමට හැකි විය.

ඉහත සඳහන් කළ කාලය තුළ සිදු කළ ආයෝජනයන්හි පරිණත කාලයන් මාස 3 සිට වසර 5 දක්වා කාල පරාසයක විහිදුණු අතර, කුඩා පරිමාණ මෙන්ම මහා පරිමාණ සුදුසුකම් ලත් ආයෝජකයන් ආයෝජනය කිරීමට පෙළඹුණි. විදේශයන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලවල සහයෝගය ඇතිව ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර තුළ ආයෝජනය කිරීමට, ඒ් සඳහා සුදුසුකම් ලත් ආයෝජකයින් දිරි ගැන්වීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කරමින් සිටියි.

විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2021 දෙසැම්බර්

අඛණ්ඩව හත්වන මාසයටත් එ.ජ. ඩොලර් බිලියනය ඉක්මවූ ඉහළ අපනයන ඉපැයීම් තිබියදීත්, ඉතිහාසයේ ඉහළම මාසික වියදම වාර්තා කරමින් ආනයන අධික ලෙස ඉහළ යෑම හේතුවෙන්, 2021 වසරේ දෙසැම්බර් මාසයේ දී වෙළඳ ගිණුමේ හිඟය, වසරකට පෙර පැවති හිඟයට සාපේක්ෂව පුළුල් විය. අපනයන වර්ධනයට වඩා සැලකිය යුතු වේගයකින් ආනයන ඉහළ යෑම හේතුවෙන් 2021 වසර තුළ දී වෙළඳ හිඟය කැපී පෙනෙන ලෙස පුළුල් විය. පෙර මාසයට සාපේක්ෂව දෙසැම්බර් මාසයේ දී සංචාරක පැමිණීම් කැපී පෙනෙන වර්ධනයක් සමඟින් අඛණ්ඩව ඉහළ ගියේය. මේ අතර, විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සඳහා හඳුන්වා දී ඇති දිරිගැන්වීමේ යෝජනා ක්‍රමයට ප්‍රතිචාර දැක්වීම සහ උත්සව සමයේ ඉහළ යන ප්‍රේෂණ ප්‍රවණතාව පිළිබිඹු කරමින්, 2021 වසරේ දෙසැම්බර් මාසයේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ මාසික ලක්ෂ්‍යමය පදනම මත වර්ධනයක් වාර්තා කළේය. මාසය තුළ අන්තර් බැංකු වෙළඳපොළේ බර තැබූ සාමාන්‍ය එතැන් විනිමය අනුපාතිකය එ.ජ. ඩොලරයට රුපියල් 201ක පමණ මට්ටමක පැවතුණි.

ඉදිරි ණය වගකීම් පියවීම සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත අවධාරණය කිරීම

ශ්‍රී ලංකාව ස්වෛරීත්ව ණය ගෙවීම් පැහැර හැරීමක් අභියස සිටින බවට මෑතකදී පළවූ ඇතැම් මාධ්‍ය වාර්තා පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානය යොමු වී තිබේ. එවැනි ප්‍රකාශ පදනම් රහිත බව ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කරන අතර, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද විශ්වසනීය නිල දත්ත තිබියදීත් මෙම වාර්තාවල පැහැදිලිවම සාවද්‍ය වන කරුණු අඩංගු වීම කනගාටුවට කරුණකි. එබැවින්, සියලු ඉදිරි ණය වගකීම් පියවීමට සහ එමඟින් ශ්‍රී ලංකාවේ නොකැළැල් ණය සේවාකරණ ගෙවීම් වාර්තාව අඛණ්ඩව පවත්වාගෙන යෑමට රජය සහ ශ්‍රී ලංකා මහ බැංකුව කැපවී සිටින බවට දේශීය සහ විදේශීය ආයෝජක ප්‍රජාව සහ මහජනතාව වෙත ශ්‍රී ලංකා මහ බැංකුව සහතික වේ.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විදේශ ප්‍රේෂණ ජාතික ජංගම යෙදුම දියත් කරනු ලබයි

ශ්‍රී ලංකාවට ලැබෙන විදේශ ප්‍රේෂණ ප්‍රවාහ වැඩි කිරීම සඳහා මෙන් ම විධිමත් ක්‍රමවේද හරහා ප්‍රේෂණ රට තුළට ගලා ඒම ධෛර්යමත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විවිධ පියවරයන් ගනිමින් සිටී. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ මූලිකත්වයෙන් ලංකාක්ලියර් (පුද්ගලික) ආයතනය විසින් වේගවත්, ආරක්ෂාකාරී සහ අඩු පිරිවැයක් සහිත ව ශ්‍රී ලංකාවට මුදල් එවීමේ පහසුකම් ලබා දීම අරමුණු කර ගත් 'Lanka Remit' නමින් විදේශ ප්‍රේෂණ ජාතික ජංගම යෙදුමක් හඳුන්වා දෙන ලදී.

විදේශ ප්‍රේෂණ ජාතික ජංගම යෙදුම 'Lanka Remit' පෙබරවාරි 8 වන දින ගරු නාමල් රාජපක්ෂ, තරුණ හා ක‍්‍රීඩා අමාත්‍යතුමා, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍යතුමා සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යතුමා විසින් දියත් කරන ලදී.

2022 ජනවාරි මස උද්ධමනය - කො.පා.මි.ද.

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100)1 වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 දෙසැම්බර් මාසයේ පැවති සියයට 12.1හි සිට 2022 ජනවාරි මාසයේ දී සියයට 14.2 දක්වා ඉහළ ගියේය. මේ අතර, වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන කො.පා.මි. දර්ශකයෙහි වෙනස, 2021 දෙසැම්බර් මාසයේ පැවති සියයට 6.0හි සිට 2022 ජනවාරි මාසයේ දී සියයට 6.9 දක්වා ඉහළ ගියේය.

උද්ධමනය සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් හේතු විය. ඒ අනුව, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 දෙසැම්බර් මාසයේ පැවති සියයට 22.1හි සිට 2022 ජනවාරි මාසයේ දී සියයට 25.0 දක්වා ඉහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 දෙසැම්බර් මාසයේ පැවති සියයට 7.5හි සිට 2022 ජනවාරි මාසයේ දී සියයට 9.2දක්වා ඉහළ ගියේය.

බැංකු නොවන මූල්‍ය ආයතන ඒකබද්ධ කිරීම සඳහා වන වැඩපිළිවෙල කඩිනමින් අනුගමනය කෙරේ

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ක්‍රියාත්මක කරනු ලබමින් පවතින බැංකු නොවන මූල්‍ය ආයතන ඒකබද්ධ කිරීම සඳහා වන  වැඩපිළිවෙල යටතේ (ඒකාබද්ධකරණ වැඩපිළිවෙල), පහත සමාගම් 9 විසින් දැනටමත් රුපියල් බිලියන 12.56ක් වූ නව ප්‍රාග්ධනය නියාමන ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාලීමට හඳුන්වා දී ඇත: සර්වෝදය ඩිවලප්මන්ට් ෆයිනෑන්ස් පී එල් සී , ඩයලොග් ෆයිනෑන්ස් පී එල් සී, ඒෂියා ඇසෙට් ෆයිනෑන්ස් පී එල් සී, ලංකා ක්‍රෙඩිට් ඇන්ඩ් බිස්නස් ෆයිනෑන්ස් පී එල් සී, පීපල්ස් මර්චන්ට් ෆයිනෑන්ස් පී එල් සී, සොෆ්ට්ලොජික් ෆයිනෑන්ස් පී එල් සී, මර්චන්ට් බෑන්ක් ඔෆ් ශ්‍රී ලංකා ඇන්ඩ් ෆයිනෑන්ස් පී එල් සී, යූ බී ෆයිනෑන්ස් කම්පැනි ලිමිටඩ් සහ සී/ස රිචඩ් පීරිස් ෆයිනෑන්ස් ලිමිටඩ්.  

Pages

නිවේදන