සේවා අපනයන ලැබීම්/ඉපැයීම් ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කිරීමේ අනිවාර්ය අවශ්‍යතාව ලිහිල් කරයි

සේවා අපනයනකරුවන්ගේ අපනයන ඉපැයීම් රට තුළට ගෙන ඒම සඳහා ඔවුන්ව දිරිමත් කිරීමේ අරමුණින්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පනවන ලද 2022 අගෝස්තු 12 වන දින හෝ ඉන් පසු ව සිට ශ්‍රී ලංකාව වෙත ලැබෙන සේවා අපනයන ලැබීම්/ඉපැයීම් ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කිරීමේ අනිවාර්ය අවශ්‍යතාව ඉවත් කර ඇත. සේවා අපනයනකරුවන් ශ්‍රී ලංකාව වෙත රැගෙන එන ඔවුන්ගේ අපනයන ඉපැයීම් අවසරලත් කාර්යයන් සඳහා භාවිත කළ හැකි ය. සේවාව ලබා දුන් දින සිට දින 180 ක්  ඇතුළත සේවා අපනයන ඉපැයීම් රට තුළට ලබා ගැනීමේ අනිවාර්ය අවශ්‍යතාව නො වෙනස් ව පවතී.  

බැංකු විසින් වාර්තා කරනු ලබන තොරතුරුවලට අනුව, 2022 වසරේ පළමු මාස 6 තුළ දී සේවා අපනයන ලැබීම් ලෙස ක්සත් ජනපද ඩොලර් මිලියන 1,533ක ප්‍රමාණයක් මෙරටට ලැබී ඇති අතර ඉන් එක්සත් ජනපද ඩොලර් මිලියන 406ක් ශ්‍රී ලංකා  රුපියල් බවට පරිවර්තනය කර ඇත. 2022 මාර්තු මාසයේ දී, ඉහළ ම මාසික සේවා අපනයන ඉපැයීම් වන එක්සත් ජනපද ඩොලර් මිලියන 324ක මුදලක් ලැබී තිබුණි. සේවා අපනයනකරුවන්ගේ නියෝජිතයින් සමඟ පැවැත්වූ  සාකච්ඡාවල දී ඔවුන් විසින් අපනයන ලැබීම් තවදුරටත් ඉහළ නැංවීමේ හැකියාව ඉස්මතු කරන ලදී. 

අපනයන ඉපැයීම් දින 180ක් තුළ දී ගෙන ඒමේ අනිවාර්ය අවශ්‍යතාව වෙත අවධානය යොමු කරමින්, සියලු ම අපනයන ඉපැයීම් මෙම අවශ්‍ය මොහොතේ රටට ගෙන්වා ගැනීමට සියලු ම අපනයනකරුවන් දිරිමත් කරනු ලැබේ. අපනයනකරුවන් සහ අවසරලත් වෙළෙඳුන් අදාළ අවශ්‍යතාව සමඟ අනුකූල වීම අධීක්ෂණය කිරීමේ කටයුතු ශ්‍රී ලංකා මහ බැංකුව තීව්‍ර කර ඇත.    

ඉහත සඳහන් ලිහිල් කිරීම සම්බන්ධ වැඩිදුර විස්තර, www.dfe.lk හරහා 2022 අගෝස්තු 12 දිනැති අංක 2292/50 දරන ගැසට් (ඇති විශේෂ) නිවේදනයේ පළකර ඇති  "2022 අංක 02 දරන අපනයන ඉපැයීම් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේ රීති" වෙත යොමු වීමෙන් ලබා ගත හැකි ය.

 

Published Date: 

Tuesday, August 16, 2022