Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

2017 ජූලි මස උද්ධමනය

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013=100) විචලනය මගින් මනිනු ලබන උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2017 ජූලි මාසයේ දී පසුගිය මාසයේ පැවැති සියයට 6.3 හි නො වෙනස් ව පැවැතුණි. 2017 ජූලි මස ලක්ෂ්‍යමය උද්ධමනය කෙරෙහි ආහාර කාණ්ඩය මෙන් ම ආහාර නො වන කාණ්ඩය ද දායක විය.

වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි වෙනස 2017 ජූනි මාසයේ දී වාර්තා වූ සියයට 6.1 හි සිට 2017 ජූලි මාසයේ දී සියයට 6.2 දක්වා සුළු වශයෙන් ඉහළ ගියේ ය.

ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක සමීක්ෂණය - 2017 ජූලි

නිෂ්පාදන අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, 2017 ජූලි මාසයේ දී 54.3ක දර්ශක අගයක් වාර්තා කරමින්, 2017 ජූනි මාසයට සාපේක්ෂ ව දර්ශක අගයයන් 1.8කින් පහළ යන ලදී. පසුගිය මාසයට සාපේක්ෂ ව නිෂ්පාදන කටයුතු අඩු වේගයකින් වර්ධනය වීම කෙරෙහි පසුගිය මාසය තුළ එක් රැස් කර ගත් තොග භාවිතය හේතුවෙන් ගැනුම් තොග දර්ශකයේ පහළ යෑම මෙන් ම සේවය හැර යන ශ්‍රමිකයන්ගේ පුරප්පාඩු පිරවීම සඳහා නුපුහුණු ශ්‍රමිකයන් සොයා ගැනීමේ අපහසුතාව හේතුවෙන් සේවා නියුක්ති උප දර්ශකය පහළ යෑම ද බලපාන ලදි. නව ඇණවුම් සහ ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගත වන කාලය යන උප දර්ශක අඩු වේගයකින් වර්ධනය වූ අතර නිෂ්පාදන උප දර්ශකය පසුගිය මාසයේ වාර්තා කළ මට්ටමේ ම පැවැතුණි. කෙ සේ වුව ද, සියලු ම උප දර්ශක කඩයිම් මට්ටම ලෙස ගැනෙන දර්ශක අගය වන 50.0ට වඩා වැඩි අගයක් වාර්තා කරන ලදි. තව ද, ඉදිරි මාස තුන සඳහා ව්‍යාපාර ක්‍රියාකාරකම් පිළිබඳ අපේක්ෂාවන් යහපත් වර්ධනයක් පෙන්නුම් කරයි.

ජාතික ගෙවීම් වේදිකාව පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුවෙන් පැහැදිලි කිරීමක්

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය (ICTA) හා ටෝටල් පේ ආයතනය පිළිබඳ ව මාධ්‍ය මගින් පළ වූ තොරතුරු සහ ජාතික ගෙවීම් වේදිකාව සම්බන්ධයෙන් පවත්නා තත්ත්වය පිළිබඳ ව නිවැරදි අවබෝධයක් ලබා දීම සඳහා පොදු මහජනතාවට කරුණු පැහැදිලි කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව බලාපොරොත්තු වේ.

ප්‍රාථමික අලෙවිකරුවකු මත ගනු ලබන නියාමන ක්‍රියාමාර්ගය - පෑන් ඒෂියා බෑන්කින් කෝපරේෂන් පීඑල්සී

ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥා පනත සහ දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ නිකුත් කරන ලද නියෝගයන්ට අනුව, 2017 අගෝස්තු මස 14 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් පෑන් ඒෂියා බෑන්කින් කෝපරේෂන් පීඑල්සීහි ප්‍රාථමික අලෙවිකරුවෙකු විසින් කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් 2017 අගෝස්තු මස 15 වැනි දින පෙරවරු 10.00 සිිට බල පැවැත්වෙන පරිදි මාස හයක (6) කාල සීමාවක් සඳහා අත්හිටුවීමට තීරණය කරන ලදි. 

පෑන් ඒෂියා බැංකුව විසින් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම සමඟ සිදු කරන ලද ගනුදෙනුවලට අදාළ ව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද විමර්ශන මත පදනම් ව මෙම නියාමන ක්‍රියාමාර්ගය ගෙන ඇත. 

ගංවතුරින් හානියට පත් වූ ණය ගනුදෙනුකරුවන් වෙත ලබා දුන් ණය සඳහා සහන සලසයි

මෑත දී ඇති වූ ගංවතුර, අයහපත් කාලගුණික තත්ත්ව සහ ඊට සම්බන්ධ සිද්ධීන් නිසා හානියට පත් ණය ගනුදෙනුකරුවන්ගේ ව්‍යාපාර කටයුතු යළි නඟා සිටුවීම හා ජීවන කටයුතු සාමාන්‍ය තත්ත්වයට පත් කරලීම උදෙසා ඒ ඒ අවස්ථානුකූල ව සහන ලබා දීමට සියළු ම බලපත්‍රලාභී බැංකු සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව අවසර ලබා දී ඇත. 

ඒ අනුව බැංකුවලට පහත අයුරින් කටයුතු කළ හැක.

  • 2017 මැයි මස 25 වැනි දින තෙක් පැවැති සක්‍රීය ණය පහසුකම් සඳහා මාස 3කට නො වැඩි සහන ක‍ාලයක් එකී ගනුදෙනුකරුවන් වෙත ලබා දීම
  • එම කාලයට අදාළ දඩ පොලී කපා හැරීම

මහ බැංකුවට දැනට ලැබී ඇති තොරතුරුවලට අනුව එම ගංවතුර තත්ත්වයෙන් හානියට පත් වූ ගනුදෙනුකරුවන් විශාල සංඛ්‍යාවක් මේ සම්බන්ධ ව දැනුම්වත් වී නොමැති බැවින් මෙම සහන ලබා ‍ගෙන නැත. එම නිසා අදාළ ගනුදෙනුකරුවන් තමාගේ ළඟ ම ඇති බැංකු ශාඛාවෙන් මේ සම්බන්ධ ව වැඩිදුර තොරතුරු ලබා ගන්නා මෙන් දන්වා සිටී. 

ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය, භූතාන සහ චීන මූල්‍ය බුද්ධි ඒකක සමඟ අන්‍යොන්‍ය අවබෝධතා ගිවිසුම්වලට එළැඹෙයි

2006 අංක 6 දරණ මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ විධිවිධාන ප්‍රකාර ව ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය භූතාන සහ චීන මූල්‍ය බුද්ධි ඒකකයන් සමඟ 2017 ජූලි 17 - 21 දිනයන්හි දී කොළඹ දී පැවැති මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායමේ විසි වැනි වාර්ෂික සමුළුවේ දී අවබෝධතා ගිවිසුම්වලට එළැඹිණි. මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීමට අදාළ ව පරීක්ෂණ සහ නඩු පැවරීම්වලට අදාළ මූල්‍ය තොරතුරු හුවමාරු කර ගැනීම මෙම අවබෝධතා ගිවිසුම්වලට එළඹීමේ මූලික පරමාර්ථය වේ. ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂ ආචාර්ය එච් අමරතුංග මහතා චීන මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂ ජෙනරාල් ලුවෝ යුබිං මහත්මිය සහ භූතාන මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති මූල්‍ය බුද්ධි ඒකකයේ ප්‍රධානි නාජෝ ඩෝජි මහතා සමඟ මෙම අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තබන ලදී. 

චීනය 2001 වසරේ දී මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායමේ සාමාජිකත්වය ලබා ගන්නා ලද අතර 2007 වසරේ දී මූල්‍ය කාර්ය සාධක බලකායේ පූර්ණ සාමාජිකයෙකු ලෙස පත් විය. 2010 ඔක්තෝබර් මාසයේ දී භූතාන මහ බැංකුව යටතේ ආරම්භ කරන ලද භූතාන මූල්‍ය බුද්ධි ඒකකය 2011 වසරේ දී මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායමේ සාමාජිකත්වය ලබා ගන්නා ලදි. 

Pages

නිවේදන