මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායමේ විසි වැනි වාර්ෂික සමුළුව 2017 ජූලි 17 සිට 21 දක්වා කොළඹ දී

මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායමේ විසි වැනි වාර්ෂික සමුළුව සාමාජික රටවල් 41ක් සහ විවිධ අන්තර්ජාතික නිරීක්ෂණ සංවිධාන රැසක නියෝජනය සහිත දේශීය සහ විදේශීය ආරාධිතයන් 450කගේ පමණ සහභාගීත්වයෙන් 2017 ජූලි මස 17 සිට 21 දක්වා කොළඹ දී පැවැත්වේ. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහභාගී වේ. 

මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායම ශ්‍රී ලංකාව ඇතුළු තවත් රටවල් 13ක ප්‍රධානත්වයෙන් 1997 වසරේ දී තායිලන්තයේ බැංකොක්හි දී ආරම්භ කරන ලදී. මෙම කලාපීය කණ්ඩායම සිය සාමාජික රටවල මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම පිණිස ජාත්‍යන්තර වශයෙන් පිළි ගත් මූල්‍ය කාර්ය සාධක බලකායේ නිර්දේශ 40 ක්‍රමවත් අයුරින් ස්ථාපනය කිරීම සහ බලාත්මක කිරීම පිළිබඳ ව නිරීක්ෂණය කරනු ලබයි. මේ වන විට, ශාන්තිකර කලාපීය කුඩා ආර්ථිකයන්ගේ සිට ඇමෙරිකා එක්සත් ජනපදය, චීනය, ජපානය සහ ඉන්දියාව වැනි විශාල ආර්ථිකයන් ද මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායමේ සාමාජිකත්වය දරයි. ස්ථිර සාමාජික රටවලට අමතර ව මූල්‍ය කාර්ය සාධක බලකාය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආර්ථික සහයෝගීතාව සහ සංවර්ධනය පිළිබඳ සංවිධානය, මත්ද්‍රව්‍ය සහ අපරාධ සඳහා වන එක්සත් ජාතීන්ගේ කාර්යාලය, ආසියානු සංවර්ධන බැංකුව සහ මූල්‍ය බුද්ධි ඒකකයන්ගේ එකතුවෙන් සැදුම් ලත් එග්මොන්ට් කණ්ඩායම වැනි ජාත්‍යන්තර මෙන් ම කලාපීය සංවිධාන නියෝජනය වන නිරීක්ෂකයන් පිරිසක් ද මෙ වර වාර්ෂික සමුළුවට සහභාගී වේ.

මූල්‍ය කාර්ය සාධක බලකායට සමගාමී ව පිහිටුවා ඇති ලොව විශාලතම කලාපීය සංවිධානය ලෙස ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායම ගෝලීය වශයෙන් නිරන්තර ව වෙනස් වන මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම් වැළැක්වීමට අදාළ ක්‍රම සහ විධි හඳුන්වා දීම පිණිස ඉතා අගනා කාර්යභාරයක් ඉටු කරනු ලබයි. 2012 වසරේ දී සංශෝධනය කරන ලද මූල්‍ය කාර්ය සාධක බලකායේ නිර්දේශ 40 අනුව සිය සාමාජික රටවල් පිළිබඳ ව සිදු කරනු ලබන අන්‍යෝන්‍ය ඇගයීම් හරහා මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඬ පැවැත්වීම සඳහා වන එක් එක් රටවල්වල අනුකූලතාව ඇගයීමට ලක් කෙරේ. පුළුල් පරාසයක් තුළ පැතිරුණු ආරක්ෂාකාරී ක්‍රමවේදයන්, පවතින ආයතනික රාමුව, නීතිය බලාත්මක කිරීම සහ නඩු පැවරීම සම්බන්ධ ගැටළු, මූල්‍ය නො වන අංශ සඳහා වන පාලන ක්‍රම, අපරාධයන්ට අදාළ ව දේපළ රාජසන්තක කිරීම් සහ ගිණුම් අත්හිටුවීම් සඳහා අවශ්‍ය වන අන්‍යෝන්‍ය සහාය සහ ජාත්‍යන්තර සහයෝගීතාව ලබා ගැනීමේ අවශ්‍යතාව පිළිබඳ ව තක්සේරු කිරීමක් මෙහි දී සිදු කරනු ලැබේ. 

අන්‍යෝන්‍ය ඇගයීම් හැරුණු විට වර්තමානයේ සිදු වන මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම සඳහා අනුගමනය කරන ක්‍රමවේදයන් සහ එහි ඇති අවදානම් තත්ත්වයන් සම්බන්ධ ව සිය සාමාජික රටවලට සහ මහජනතාවට දැනුම්වත් කිරීම සඳහා තාක්ෂණික සහාය, පුහුණුවීම් සහ උපාය මාර්ග අධ්‍යයන කිරීමට අවස්ථාව ලබා දීම මගින් ද මෙම කණ්ඩායම සිය සාමාජික රටවලට සහාය ලබා දෙයි. තව ද, මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඬ පැවැත්වීම සඳහා ඇති සම්පත් නිසි පරිදි ප්‍රයෝජනයට ගැනීම සඳහා ජාතික සම්බන්ධීකරණ යාන්ත්‍රණ ස්ථාපනය කිරීමට ද මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායම සිය සාමාජිකයින්ට සහාය වෙයි.

අන්තර්ජාතික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම, මුදල් විශුද්ධිකරණය වැළැක්වීම හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඬ පැවැත්වීම සඳහා එක් එක් රටවල අනුකූලතා මට්ටම සමාලෝචනය කිරීම සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීම හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඬ පැවැත්වීම සම්බන්ධයෙන් හඳුනාගත් දුර්වලතාවන් මඟ හරව‍ා ගැනීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා මෙම විසි වැනි වාර්ෂික සමුළුව සාමාජික රටවලට ඉතා ප්‍රයෝජනවත් වේ. තව ද, 2016 - 2018 වර්ෂයන් සඳහා මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායමේ සම සභාපතිත්වය ශ්‍රී ලංකාව විසින් දරන බැවින් මෙම වාර්ෂික සමුළුව ශ්‍රී ලංකාවට අතිශය වැදගත් වේ. එ සේ ම, මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඬ පැවැත්වීමේ ජාත්‍යන්තර සම්මුතීන්ට අනුව කටයුතු කිරීම සඳහා වන ශ්‍රී ලංකාවේ ඇති කැපවීම තහවුුරු කිරීම සඳහා මෙය අනගි අවස්ථාවක් වනු ඇත. වාර්ෂික සමුළුවේ පෙර සැසි වාරයන් 2017 ජූලි 15 වැනි සෙනසුරාදා සිට පැවැත්වීමට නියමිත ය.

Published Date: 

Thursday, July 13, 2017