Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කෙරෙන ප්‍රකාශයයි

2008 - 2014 කාල සීමාව තුල රජයේ සුරැකුම්පත් නිකුත් කිරීමේ දී කිසියම් අක්‍රමිකතාවක් සිදු වී ඇත්ද යන්න පිළිබඳ ව වහාම ප්‍රකාශයක් කරන ලෙස මහ බැංකුව වෙත ඉල්ලීමක් ඉදිරිපත් වී ඇත. 

මෙහි දී 2018 ජනවාරි 11 දින ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් නිකුත් කරනු ලැබූ ප්‍රකාශය වෙත අවධානය යොමු කරනු ලැබේ. එහි අවසාන ඡේදයේ වෝහාරික විගණනයක් සිදු කිරීම පිළිබඳ ව සඳහන් කොට ඇත. එකී විගණනයේ දී 2008 - 2014 කාල සීමාව තුළ සිදු වූ රජයේ සුරැකුම්පත් සහ සේවක අර්ථසාධක අරමුදල සම්බන්ධ කටයුතු පිළිබඳ ව විමසා බැලෙනු ඇති අතර මෙම විගණනය බාහිර පාර්ශ්වයක් විසින් සිදු කෙරෙනු ඇත. වෝහාරික විගණනය අවසාන වීමට පෙර මේ සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් සිදු කිරීම යෝග්‍ය නො වේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් කෙරෙන ප්‍රකාශයයි

2015 පෙබරවාරි 1 සිට 2016 මාර්තු 31 දක්වා කාලය තුළ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ පරීක්ෂා කිරීමේ සහ විමර්ශනය කිරීමේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ නිර්දේශ සම්බන්ධවත්, රාජ්‍ය ණය සහ සේවක අර්ථසාධක අරමුදල කළමනාකරණය සහ පරිපාලනය විධිමත් කිරීම සඳහා ගෙන ඇති පියවර සම්බන්ධවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුුදල් මණ්ඩලය විසින් කරනු ලබන ප්‍රකාශය.

2015 පෙබරවාරි 1 සිට 2016 මාර්තු 31 දක්වා කාලය තුළ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ පරීක්ෂා කිරීමේ සහ විමර්ශනය කිරීමේ ජනාධිපති විමර්ශන කොමිසන් සභා වාර්තාව එහි ඇතුළත් නිර්දේශ ක්‍රියාත්මක කිරීමට සලකා බැලීම සඳහා ජනාධිපති ලේකම්තුමා විසින් 2018 ජනවාරි 10 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිතුමා වෙත භාර දෙනු ලැබිණි.

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාර කටයුතු අත්හිටුවීම දීර්ඝ කරයි

ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥා පනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ නිකුත් කරන ලද නියෝගයන්ට අනුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් සිදු කර ගෙන යාමේ අරමුණින්, 2018 ජනවාරි මස 4 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රාථමික අලෙවිකරුවෙකු ලෙස කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් 2018 ජනවාරි මස 05 වැනි දින ප.ව. 4.30 සිට බලපැවැත්වෙන පරිදි මාස හයක (06) කාලසීමාවක් සඳහා තවදුරටත් අත්හිටුවීමට තීරණය කරන ලදී.

පෙර දැක්ම 2018 - 2018 සහ ඉදිරිය සඳහා මුදල් සහ මූල්‍ය අංශ ප්‍රතිපත්ති

2017 වසර අභියෝගාත්මක වසරක් විය. අයහපත් කාලගුණික තත්ත්ව සමස්ත ආර්ථිකය කෙරෙහි බලපෑම් ඇති කළ අතර පැවැති නියං සහ ගංවතුර තත්ත්වයන්ගෙන් කෘෂිකාර්මික කටයුතු සහ කෘෂි නිෂ්පාදිත පදනම් කර ගත් කර්මාන්ත කටයුතුවලට බාධා ඇති විය. අහිතකර කාලගුණික තත්ත්වයන්ගෙන් ඇති වූ බලපෑම ආර්ථිකයේ අනෙකුත් අංශ කෙරෙහි ද අයහපත් ලෙස බලපෑ අතර එහි ප්‍රතිඵලයක් ලෙස 2017 වසරේ ආර්ථික වර්ධනය වසර ආරම්භයේ දී අප පුරෝකථනය කළ මට්ටමට වඩා පහළ සහ අඩු අගයක් ගනු ඇතැ යි අපේක්ෂා කෙරේ. සාර්ව ආර්ථික ස්ථායීතාව නැවත ළඟා කර ගැනීමේ අරමුණෙන් ක්‍රියාත්මක කළ මහ බැංකුවේ දැඩි මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය මෙන් ම රජය මගින් ක්‍රියාත්මක කිරීමට යෙදුණු සාපේක්ෂ වශයෙන් දැඩි රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති ස්ථාවරය රාජ්‍ය සහ පෞද්ගලික ආයෝජන වියදම් කෙරෙහි යම් තාක් දුරට බලපෑ අතර එය ද ආර්ථික වර්ධනය මන්දගාමී වීමට හේතු විය. උද්ධමන අපේක්ෂා පාලනය කිරීමට අප දරන උත්සාහයන් අභියෝගයට ලක් කරමින් කාලගුණික තත්ත්වයන්ගේ බලපෑම මගින් දේශීය සැපයුම්වලට ඇති වූ බාධා හේතුවෙන් ආහාර මිල ඉහළ යෑම, වක්‍ර බදු සඳහා වූ සංශෝධන සහ  ආනයනික වෙළෙඳ භාණ්ඩවල මිල ඉහළ යෑම හේතු කොට ගෙන පාරිභෝගික මිල උද්ධමනය ඉහළ ගියේ ය.

ඊ ටී අයි ෆිනෑන්ස් සහ ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් පී එල් සී ආයතනය සම්බන්ධ ව ශ්‍රී ලංකා මහ බැංකුව ගෙන ඇති නියාමන ක්‍රියාමාර්ග

ඊ ටී අයි ෆිනෑන්ස් ලිමිටඩ් හා ස්වර්ණ මහල් ෆිනෑන්ෂියල් සර්විසස් පී එල් සී යන ආයතනවල පවතින අසතුටුදායක මූල්‍ය කාර්යසිධන මට්ටම දීර්ඝ වශයෙන් සලකා බැලූ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2018.01.01 දින පැවැති රැස්වීමේ දී එම ආයතන දෙකේ තැන්පත්කරුවන්ගේ හා අනෙකුත් ණය හිමියන්ගේ හිමිකම් සුරක්ඹිත කිරීම සඳහාත් මූල්‍ය පද්ධතියේ සුරක්ෂිතතාව සහ ශක්තිමත්භාවය තහවුරු කර ගැනීම සඳහාත් කෙටිකාලීන පියවරක් ලෙස 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ ප්‍රතිපාදන යටතේ පහත ක්‍රියාමාර්ග වහා ම ක්‍රියාත්මක වන පරිදි බලාත්මක කරන ලදි.

  1. අදාළ ආයතන දෙකේ කළමනාකරණ කටයුතු කර ගෙන යෑම සඳහා මණ්ඩලයක් පත් කිරීම
  2. කල් පිරෙන තැන්පතු ආපසු ගැනීම සීමා කරමින් එම තැන්පතු මාස 6ක කාලයක් දක්වා දීර්ඝ කිරීම
  3. තැන්පතු සඳහා ගෙවිය යුතු පොලිය එකඟ වූ කොන්දේසිවලට අනුව සිදු කිරීම

මෙම කාලය අතරතුර අදාළ ආයතන තම ආයෝජකයින් සමඟ පවත්වා ගෙන යනු ලබන සාකච්ඡා නිම කළ හැකි අතර අදාළ නීති හා රෙගුලාසිවලට යටත් ව සුදුසු ආයෝජකයින් වෙත ශ්‍රී ලංකා මහ බැංකුව අවශ්‍ය පහසුකම් සපයනු ඇත. 

සිතා මතා විකෘති කරන ලද, හානි කරන ලද සහ වෙනස් කරන ලද ශ්‍රී ලංක‍‍ා ව්‍යවහාර මුදල් නෝට්ටු

සිතා මතා විකෘති කරන ලද, හානි කරන ලද හා වෙනස් කරන ලද ව්‍යවහාර මුදල් නෝට්ටු බලපත්‍රලාභී වාණිජ බැංකු වෙතින් හුවමාරු කිරීමේ දී මහජනතාව මුහුණ දෙනු ලබන අපහසුතා මෙන් ම අති විශාල මහජන ඉල්ලීම් ප්‍රමාණය සැලකිල්ලට ගනිමින් එ වැනි ව්‍යවහාර මුදල් නෝට්ටු බලපත්‍රලාභී වාණිජ බැංකු වෙතින් හුවමාරු කර ගැනීමේ කාල සීමාව 2018 මාර්තු 31 දක්වා දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.

ශ්‍රී ලංකාවේ ව්‍යවහාර මුදල් නෝට්ටු සිතාමතා විකෘති කිරීම, හානි කිරීම හෝ වෙනස් කිරීම 1949 අංක 58 දරන මුදල් නීති පනත යටතේ දඩ මුදලකට යටත් කිරීම හෝ සිරගත කිරීම හෝ එම දඬුවම් දෙකම ලබා දිය හැකි වරදකි. මුදල් නීති පනතේ රෙගුලාසි (ඊ) යටතේ සිතා මතා විකෘති කරන ලද, හානි කරන ලද හෝ වෙනස් කරන ලද නෝට්ටු සඳහා කිසිදු හිමිකම් පෑමක් නො ලබන අතර එ වැනි නෝට්ටු ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රඳවා ගනු ලැබේ.

ඒ අනුව, මෙ වැනි මුදල් නෝට්ටු අත දරන්නා හට 2018 අප්‍රේල් 01 සිට එම නෝට්ටුවල මුහුණත වටිනාකමෙහි අලාභය දරා ගැනීමට සිදු වේ.

Pages