අඛණ්ඩ ව තෙවන මාසයට ද එක්සත් ජනපද ඩොලර් බිලියනයක සීමාව පසු කරමින් 2017 වසරේ සැප්තැම්බර් මාසයේ දී අපනයන අංක දෙකක අගයකින් වර්ධනය වී විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය කෙරෙහි දායක විය. කෙ සේ වුවත්, මාසය තුළ දී ඉන්ධන සහ සහල් ආනයන ඉහළ යෑම හේතුවෙන් වෙළඳ හිඟය පුළුල් විය. 2016 සැප්තැම්බර් මාසයට සාපේක්ෂ ව සංචාරකයන් පැමිණෙන ප්‍රධාන රටවලින් පැමිණි සංචාරකයන් ප්‍රමාණය සුළු වශයෙන් පහළ යෑමත් සමඟ මාසය තුළ දී සංචාරක ඉපැයීම් ද සුළු වශයෙන් අඩු විය. සැප්තැම්බර් මාසයේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ අඛණ්ඩ ව අඩු වූ අතර එය 2017 වසරේ පළමු මාස නවය තුළ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ කැපී පෙනෙන ලෙස අඩු වීම සඳහා හේතු විය. කෙ සේ වුව ද, අඛණ්ඩ ආයෝජක විශ්වාසය පිළිබිඹු කරමින් කොළඹ කොටස් වෙළෙඳපොළ සහ රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළ වෙත වූ ඉහළ විදේශීය ලැබීම් සමඟ මාසය තුළ දී ගෙවුම් තුලනයේ මූල්‍ය ගිණුම අඛණ්ඩ ව ශක්තිමත් විය.















