2018 අගෝස්තු මස උද්ධමනය

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි., 2013=100) විචලනය මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය ලක්ෂ්‍යමය පදනම මත 2018 ජූලි මාසයේ දී පැවැති සියයට 3.4 ට සාපේක්ෂව 2018 අගෝස්තු මාසයේ දී සියයට 2.5 ක් දක්වා පහළ ගියේය. මෙම පහළ යෑම සඳහා ප්‍රධාන වශයෙන් ආහාර කාණ්ඩයේ අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික පහළ යෑම හේතු විය. වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජා.පා.මි දර්ශකයෙහි වෙනස 2018 ජූලි මාසයේ දී වාර්තා වූ සියයට 5.1 සිට 2018 අගෝස්තු මාසයේ දී සියයට 4.7 දක්වා පහළ ගියේය. මාසික වෙනස්වීම සැලකූ විට, ජා.පා.මි. දර්ශකය 2018 ජූලි මාසයේ වාර්තා වූ දර්ශක අංක 126.6 සිට 2018 අගෝස්තු මාසයේ දී දර්ශක අංක 125.4 දක්වා පහළ යෑමට ආහාර කාණ්ඩයේ අයිතමවල මිල ගණන්හි සිදු වූ පහළ යෑම ප්‍රධාන වශයෙන් හේතු වූ අතර විශේෂයෙන් එළවලු, පොල්, අමු මිරිස් සහ මාළු ඒ අතර විය. මේ අතර, ආහාර නොවන කාණ්ඩයේ උප කාණ්ඩවල මිල ඉහළ යෑම් දක්නට ලැබුණු අතර, විශේෂයෙන් ප්‍රවාහන උප කාණ්ඩයට අයත් පෙට්‍රල්, ඩීසල් සහ කුලී රථ ගාස්තු; නිවාස, ජලය, විදුලි, ගෑස් සහ වෙනත් ඉන්ධන; ගෘහ භාණ්ඩ, ගෘහ උපකරණ සහ ගෘහ ඒකක නඩත්තුව; මද්‍යසාර පාන වර්ග සහ දුම්කොළ යන උප කාණ්ඩවලට අයත් ඇතැම් අයිතම ඒ අතර විය. ආර්ථිකයෙහි යටිදැරි උද්ධමනය නිරූපණය කරන ජා.පා.මි දර්ශකයෙහි මූලික උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2018 ජූලි මාසයේ දී පැවති සියයට 2.3 හි සිට 2018 අගෝස්තු මාසයේ දී සියයට 2.7 දක්වා ඉහළ ගියේය. මේ අතර, වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය 2018 ජූලි මාසයේ දී වාර්තා වූ සියයට 2.7 හි සිට 2018 අගෝස්තු මාසයේ දී සියයට 2.5 දක්වා පහළ ගියේය.

සම්පූර්ණ ලිපිය

Published Date: 

Friday, September 21, 2018