ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය - 2018 අගෝස්තු

නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, 2018 ජූලි මස වාර්තා කළ 57.2ක අගයට සාපේක්ෂ ව 2018 අගෝස්තු මාසයේ දී 58.2ක දර්ශක අගයක් දක්වා වැඩි විය. මෙම වර්ධනය සඳහා විශේෂයෙන් ම රෙදිපිළි හා නිමි ඇඳුම් අංශයේ නව ඇණවුම් වැඩිවීම නිසා ඉහළ ගිය නිෂ්පාදනය හේතු විය. තව ද, සේවා නියුක්තිය වැඩි වේගයකින් ඉහළ ගියේ ය. මේ සඳහා ආහාර සහ පාන අංශයේ ඉදිරි අපේක්ෂාවක් යහපත් වීම හේතුවෙන් අලුතින් සේවකයින් බඳවා ගැනීම ප්‍රධාන වශයෙන් බලපෑවේ ය. කෙ සේ වුව ද, ගැනුම් තොග, යම් අඩුවීමක් පෙන්නුම් කළේ ය. මේ සඳහා ලෝහමය නො වන වෙනත් ඛනිජ නිෂ්පාදන අංශයේ ගැනුම් තොග අඩු වීම ප්‍රධාන වශයෙන් හේතු විය. එ නමුත්, රෙදිපිළි හා නිමි ඇඳුම් අංශයේ ගැනුම් තොග වර්ධනය විය. මේ අතර, සාමාන්‍යයෙන් ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගත වන කාලය ඉහළ යාම තුළින් මෑත කාලීන ව ආර්ථිකය වර්ධනය වන බව පිළිබිඹු වේ. එ නමුත්, ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගත වන කාලය යම් අඩුවීමක් පෙන්නුම් කරන ලද්දේ පසුගිය මාසයේ ප්‍රධාන ආනයන ගමනාන්තයන්හි ඇති ව තිබූ අවහිරතා යථා තත්ත්වයට පත්වීම හේතුවෙනි. එම නිසා, ආර්ථික ක්‍රියාකාරකම්හි අඩුවීමක් එ මගින් පිළිඹිබු නො වේ. සමස්තයක් ලෙස, ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකයේ සියලු ම උප දර්ශක කඩඉම් මට්ටම ලෙස ගැනෙන දර්ශක අගය වන 50.0ට වඩා වැඩි අගයක් වාර්තා කළ අතර, එ මගින් 2018 අගෝස්තු මාසයේ දී නිෂ්පාදන ක්‍රියාකාරකම්,‍ 2018 ජූලි මාසයට සාපේක්ෂ ව වැඩි වේගයකින් වර්ධනය වූ බව පෙන්නුම් කෙරෙයි. මේ අතර, ඉදිරි මාස තුන සඳහා ව්‍යාපාර ක්‍රියාකාරකම් පිළිබඳ අපේක්ෂාවන් යහපත් බවක් පෙන්නුම් කරයි. 

සම්පූර්ණ ලිපිය

Published Date: 

Friday, September 14, 2018