Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

සංචිත ඉහළ නැංවීම සඳහා විනිමය හුවමාරු පහසුකම යටතේ ඉන්දීය සංචිත බැංකුවෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 400ක්

දකුණු ආසියාතික කලාපීය සහයෝගීතා සංවිධානයේ (සාර්ක්) සාමාජික රටවල් අතර පවත්නා විනිමය හුවමාරු පහසුකම යටතේ එක්සත් ජනපද ඩොලර් මිලියන 400ක් ශ‍්‍ර‍්‍රී ලංකා මහ බැංකුව වෙත ලබා දීමට ඉන්දීය සංචිත බැංකුව එකඟ වී ඇත.

මීට අමතර ව එක්සත් ජනපද ඩොලර් බිලියනයක් ලබා ගැනීම සඳහා ඉන්දීය සංචිත බැංකුව සමග ද්විපාර්ශ්වික ගිවිසුමකට එළඹීම සඳහා ශ‍්‍ර‍්‍රී ලංකා මහ බැංකුවෙන් කරන ලද ඉල්ලීම ද සලකා බැලෙමින් පවතී.

ආනයන සහ ණය සේවාකරණය සම්බන්ධ මුදල් ගෙවීම් සිදුකරමින්, අවිධිමත් ගැලපීම් වලක්වා අවශ්‍ය විටෙක දී ව්‍යවහාර මුදල් තත්ත්වය මනාව පවත්වා ගැනීමෙන් දළ විදේශ සංචිත ප‍්‍ර‍්‍රමාණවත් පරිදි පවත්වා ගැනීමෙන් ද ආයෝජන විශ්වාසය ඉහළ නැංවීමෙහි ලා ඉන්දීය සංචිත බැංකුවෙන් ලැබුණු කඩිනම් සහයෝගය මහෝපකාරී වනු ඇත.

මෙම එකඟතාවට එළඹීමේ දී ඉන්දීය මධ්‍යම රජයත්, නව දිල්ලියේ ශ‍්‍ර‍්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයත්, කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයත් දැක්වූූ ක‍්‍ර‍්‍රියාශීලී සහයෝගය ශ‍්‍ර‍්‍රී ලංකා මහ බැංකුව අගය කරයි.

මූල්‍ය අංශ නියාමකයන් අවදානම් පදනම මත සිදු කෙරෙන ඒකාබද්ධ අධීක්ෂණයන් පිළිබඳ අවබෝධතා ගිවිසුමකට එළඹෙයි

අවදානම් පදනම මත ඵලදායී ඒකාබද්ධ අධීක්ෂණය සිදු කිරීම සහ ඒ සම්බන්ධයෙන් ප්‍රධාන අධීක්ෂක ලෙස කටයුතු කිරීම පිණිස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව සමඟ 2018 දෙසැම්බර් 31 දින ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේ දී අවබෝධතා ගිවිසුමකට එළඹෙන ලදී.

මූල්‍ය සමූහ අධීක්ෂණය සඳහා ඒකාබද්ධ අධීක්ෂණය අත්‍යවශ්‍ය මෙවලමක් වේ. මෙ මගින් විවිධ මූල්‍ය උප අංශයන්හි මෙහෙයුම් පවත්වා ගෙන යන ආයතනික සමූහවල සාමාජිකයින්ගේ සම්බන්ධකම් මගින් පැන නගින අවදානම් ඇගැයීමට හා තක්සේරු කිරීමට ලක් වේ. මෙ වැනි ආයතන මගින් පැන නැගිය හැකි, සමස්ත පද්ධතිය වෙත ම බලපාන අවදානම සහ කීර්තිනාමය හානි වීමට ඇති අවදානම යන පද්ධතිමය අවදානම් මැඩ පැවැත්වීම සඳහා මෙ වැනි ආයතනවල මූල්‍ය සමූහයන්ගේ ඒකාබද්ධ අධීක්ෂණය අවශ්‍ය වේ.

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමෙහි ව්‍යාපාර කටයුතු අත්හිටුවීම දීර්ඝ කිරීම

ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥාපනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ නිකුත් කරන ලද නියෝගයන්ට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් සිදුකරගෙන යාමේ අරමුණින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින්, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රාථමික අලෙවිකරුවෙකු විසින් කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් 2019 ජනවාරි මස 05 වැනි දින ප.ව. 4.30 සිට බලපැවැත්වෙන පරිදි මාස හයක (06) කාලසීමාවක් සඳහා තවදුරටත් අත්හිටුවීමට තීරණය කරන ලදී.

පෙර දැක්ම - 2019 සහ ඉදිරිය සඳහා මුදල් සහ මූල්‍ය අංශ ප්‍රතිපත්ති

විදේශීය අංශය මත දැඩි බලපෑම් ඇති කරනු ලැබූ, ප්‍රධාන වශයෙන් ගෝලීය ආර්ථික, මූල්‍ය සහ භූ දේශපාලනික තත්ත්ව හේතුවෙන් 2018 වසරේ දී ශ්‍රී ලංකා ආර්ථිකය අභියෝග රැසකට මුහුණ දුන්නේ ය. දේශීය අභියෝග රාශියක් ද පැවතිණි. විශේෂයෙන් ම, වසරේ අවසාන කාර්තුවේ දී ඇති වූ දේශපාලන අවිනිශ්චිතතාව සමස්ත සාර්ව ආර්ථික ස්ථාවරත්වයට ඇති අභියෝග තවත් දැඩි කළේ ය. 2017 වසරේ දී පැවති මන්දගාමී ආර්ථික වර්ධනය අඛණ්ඩ ව පැවති අතර, ඒ අනුව 2018 වසරේ දී ද අඩු වර්ධනයක් වාර්තා විය. යහපත් කාලගුණික තත්ත්වය කෘෂිකාර්මික අංශය යථා තත්ත්වයට පත් කිරීමට උපකාරී වූ අතර, සේවා අංශයේ කටයුතු ද පුළුල් වර්ධනයක් වාර්තා කළේ ය. කෙ සේ වුව ද, 2018 වසරේ දී ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පැවති මන්දගාමී ක්‍රියාකාරිත්වය හේතුවෙන් කාර්මික අංශයේ කටයුතුවල වර්ධනය අඩු විය. නිතර උච්චාවචනය වන ආහාර මිල ගණන්වල සහ පරිපාලිත මිල ගණන්වල සංශෝධන හේතුවෙන් තාවකාලික වශයෙන් පැවති ඉහළ යෑම් හා පහළ යෑම් මධ්‍යයේ වුව ද, 2018 වසරේ දී පාරිභෝගික මිල උද්ධමනය අඩු මට්ටමක පැවතිණ. පසුගිය දෙවසර තුළ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුගමනය කරන ලද දැඩි මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයට ප්‍රතිචාර දක්වමින්, 2016 සහ 2017 වසරවල වාර්තා වූ ඉහළ වර්ධනයට සාපේක්ෂ ව 2018 වසරේ දී මුදල් සහ ණය වර්ධනය මන්දගාමී විය.

මුදල් ප්‍රතිපත්ති විවරණය - 2018 අංක 8

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, 2018 දෙසැම්බර් මස 27 වැනි දින පැවති රැස්වීමේ දී ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින මට්ටමේ පවත්වා ගැනීමට තීරණය කළේය. ඒ අනුව, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 8.00 සහ සියයට 9.00 මට්ටමේ පවතී. මැදිකාලීනව උද්ධමනය මැදි තනි අගයක මට්ටමේ ස්ථායී ලෙස පවත්වා ගැනීම මගින් ආර්ථිකයට සිය විභව වර්ධන මට්ටමට ළඟාවීම සඳහා සහාය වීමේ අරමුණ ඇතිව, දැනට පවත්නා සහ අපේක්ෂිත දේශීය ආර්ථිකයේ, දේශීය මූල්‍ය වෙළඳපොළේ මෙන්ම ගෝලීය ආර්ථිකයේ වර්ධනයන් මුදල් මණ්ඩලය සැලකිල්ලට ගනු ලැබීය.

2018 නොවැම්බර් මස උද්ධමනය

ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100) ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය 2018 ඔක්තෝබර් මාසයේ සියයට 0.1 හි සිට 2018 නොවැම්බර් මාසයේ දී සියයට 1.0 ක අගයක් වාර්තා කරමින් එහි පහළ යන ප්‍රවණතාව වෙනස් කරන ලදී. 2018 නොවැම්බර් මාසයේ දී ලක්ෂ්‍යමය උද්ධමනයෙහි දක්නට ලැබුණු ඉහළ යෑම සඳහා ආහාර මිල ගණන්වල  ඉහළ යෑම ප්‍රධාන වශයෙන් හේතු විය. ආහාර කාණ්ඩයෙහි ලක්ෂ්‍යමය උද්ධමනය 2018 ඔක්තෝබර් මාසයේ දී වාර්තා වූ සියයට -6.6 හි සිට 2018 නොවැම්බර් මාසයේ දී සියයට -3.9 දක්වා ඉහළ ගියේය. කෙසේ වුවද, ආහාර නොවන කාණ්ඩයෙහි ලක්ෂ්‍යමය උද්ධමනය 2018 ඔක්තෝබර් මාසයේ දී වාර්තා වූ සියයට 5.8 හි සිට 2018 නොවැම්බර් මාසයේ දී සියයට 5.2 දක්වා පහළ ගියේය.  

වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජා.පා.මි දර්ශකයෙහි වෙනස 2018 ඔක්තෝබර් මාසයේ දී වාර්තා වූ සියයට 3.3 සිට 2018 නොවැම්බර් මාසයේ දී සියයට 2.7 දක්වා පහළ ගියේය. 

Pages