ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී ආයතනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව ගෙන ඇති නියාමන ක්‍රියාමාර්ග

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී ආයතනය සම්බන්ධයෙන් ගෙන ඇති නියාමන ක්‍රියාමාර්ග පිළිබඳ ව 2019 නොවැම්බර් 26 දින පුවත්පත් සහ පුවත් වෙබ් අඩවි කීපයක් තුළ පළ වූ ඇතැම් තොරතුරු ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානයට යොමු වී ඇති අතර ඒ සම්බන්ධ ව පහත පරිදි පැහැදිලි කිරීමට කැමැත්තෙමු.

2019 ඔක්තෝබර් 23 දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2011 අංක 42 දරණ මුදල් ව්‍යාපාර පනත යටතේ ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී ආයතනය වෙත නිකුත් කර තිබූ බලපත්‍රය අවලංගු කිරීම සඳහා වන දැන්වීමක් නිකුත් කරන ලදී.

එසේ ම, මුදල් ව්‍යාපාර පනතේ විධිවිධාන අනුව, බලපත්‍රය අවලංගු කිරීමේ දැන්වීම නිකුත් කිරීමේ දින සිට දින 30 ක් ඇතුළත ද ෆිනෑන්ස් කම්පැනි පී එල් සී ආයතනයෙහි ආයෝජනය කිරීම සඳහා වූ පිළිගත හැකි ආයෝජන යෝජනාවක්, ප්‍රාග්ධනය හඳුන්වාදීමට අදාළ අරමුදල් පිළිබඳ තහවුරුවක් සහ ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්මක් ද සහිත ව, ශ්‍රී ලංකා මහ බැංකුව වෙත යොමු කිරීමට එම අ‍ායතනයට අයිතියක් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දැනුම් දෙන ලදී.

ද ෆිනෑන්ස් කම්පැනි පී එල් සී ආයතනය විසින් එම සමාගමෙහි ආයෝජනය කිරීම සඳහා උනන්දුවක් දක්වන පාර්ශව තුනක් ඇති බවට කොළඹ කොටස් හුවමාරුව වෙත දැනුම් දී ඇතැයි ඉහත කී පුවත්පත් වාර්තා සඳහන් කළ ද එබඳු කිසිදු යෝජනාවක් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත මෙතෙක් ලැබී නොමැත.

ඒ අනුව අදාළ පුවත්පත් හා පුවත් වෙබ් අඩවි තුළ විභව ආයෝජකයන් සම්බන්ධ ව පළ වී ඇති තොරතුරු සත්‍ය හා නිවැරදි නො වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පැහැදිලි කර සිටී.

ඉහත කරුණු සැලකිල්ලට ගෙන, බලපත්‍රය අවලංගු කිරීමේ දැන්වීම නිකුත් කළ දින සිට දින 60ක් ඉක්ම වූ පසු ද ෆිනෑන්ස් කම්පැනි පී එල් සී ආයතනය වෙත නිකුත් කළ බලපත්‍රය අවලංගු කිරීමේ දැන්වීම පිළිබඳ ව මුදල් ව්‍යාපාර පනතේ විධිවිධාන ප්‍රකාර ව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් තීරණයක් ගත යුතු බව වැඩිදුරටත් දැනුම් දීමට කැමැත්තෙමු.

Published Date: 

Wednesday, November 27, 2019