ෆිච් (Fitch) ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය විසින් නිකුත් කරනු ලැබූ ප්‍රකාශයේ අන්තර්ගතයට මහ බැංකුව දැඩි විරෝධය පළ කරයි

2019 නොවැම්බර් මස 21 වන දින ෆිච් ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය “ශ්‍රී ලංකාවේ මැතිවරණ ප්‍රතිඵලය මගින් ප්‍රතිපත්ති අවිනිශ්චිතතා වැඩි කරයි” (Sri Lanka Election Result Increases Policy Uncertainty”) යන තේමාව යටතේ නිකුත් කරනු ලැබූ ප්‍රකාශයට ශ්‍රී ලංකා මහ බැංකුව දැඩිව විරෝධය පළ කරනු ලබයි. එමගින්, ජනාධිපතිවරණයේ ප්‍රතිඵල සහ අතිගරු ජනාධිපතිතුමා විසින් රාජකාරි භාර ගැනීම හා දැනට සිදු කෙරෙමින් පවත්නා ප්‍රධාන පත්වීම් පිළිබඳව වෙළඳපොළෙන් පෙන්නුම් කරන ලද ධනාත්මක ප්‍රතිචාරයට සහමුලින්ම ප්‍රතිවිරුද්ධ තත්ත්වයක් නිරූපණය කෙරෙයි. 

දේශීය විදේශ විනිමය වෙළඳපොළ මෙන්ම ණය සහ කොටස් වෙළඳපොළ ද මේ වනවිට මැතිවරණ ප්‍රතිඵලය පිළිබඳව ධනාත්මක ප්‍රතිචාර දක්වා ඇත. මැතිවරණය අවසාන වීමේ සිට ගත වූ දින හතර තුළ ශ්‍රී ලංකා රුපියල එ.ජ. ඩොලරයට සාපේක්ෂව රුපියලකට අධික ප්‍රමාණයකින් අතිප්‍රමාණය වී ඇත. මෙම කාලය තුළ, ඉදිරි විනිමය වෙළඳපොලේ අධිමිලෙහි (Forward Permia) ශීඝ්‍ර පහළ යෑමක් පෙන්වූ අතර එමගින් රුපියල තවදුරටත් අතිප්‍රමාණය වීමේ අපේක්ෂා ඉහළ නැංවීය. 2019 නොවැම්බර් මස 20 වන දින පැවැත්වූ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී රජයේ සුරැකුම්පත් වෙළඳපොළෙහි ප්‍රාථමික වෙළඳපොළ ඵලදා අනුපාතික ශීඝ්‍ර ලෙස පහළ වැටුණු අතර ද්විතියීක වෙළඳපොළ ඵලදා අනුපාතික ද සමස්තයක් ලෙස  සැලකිය යුතු ලෙස අඩු විය. මේ අතර, මෙම සතිය ආරම්භයේ සිට ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරවල ඵලදා අනුපාතික ක්‍රමවත්ව හැසිරී ඇත. විදේශීය ආයෝජකයින් විසින් ශ්‍රී ලංකා රුපියල්වලින් නාමනය කරන ලද රජයේ සුරැකුම්පත්වල සැලකිය යුතු ප්‍රමාණයක අරමුදල් අඛණ්ඩව ආයෝජනය කර ඇත. තවද, කොළඹ කොටස් වෙළඳපො‍ළේ සමස්ත කොටස් මිල දර්ශකය පසුගිය දින කිහිපය තුළ දී සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත. මෙම ධනාත්මක වෙළඳපොළ ප්‍රවණතා නොසලකා හැරීම ෆිච් ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය විසින් නිකුත් කළ ප්‍රකාශයේ දැකිය හැකි ප්‍රධාන දෝෂයකි.

නව රජය තවමත් ස්ථාපිත කෙරෙමින් පවතින බැවින් එහි නිශ්චිත ප්‍රතිපත්ති දිශානතිය සහ ඒ මගින් ඇති විය හැකි  ප්‍රතිඵල පිළිබඳව කිසිදු විශ්ලේෂකයකු විසින් අදහස් පළ කිරීම සඳහා ඉක්මන් වැඩි බව මහ බැංකුවේ මතය වේ. දේශපාලනික අවිනිශ්චිතතා පහව යෑම තුළින් ඉහත සඳහන් කරන ලද ධනාත්මක වෙළඳපොළ තත්ත්වයන් ඉදිරි කාලපරිච්ඡේදය තුළ දී තවදුරටත් ශක්තිමත් වීමේ ඉහළ හැකියාවක් පවතී. රජය විසින් මේ දක්වා හඳුන්වා දෙන ලද මූලික ක්‍රියාමාර්ග තුළින් නව පරිපාලනය තුළ වෘත්තීමය සහ ශක්තිමත් පාලන ව්‍යුහයක් පවත්වාගෙන යෑම සඳහා වන අතිගරු ජනාධිපතිතුමාගේ අධිෂ්ඨානය දැකිය හැකිය.

මේ අනුව, දුර්වල උපකල්පන මත පදනම්ව ෆිච් ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය විසින් නිකුත් කරන ලද ප්‍රකාශයේ අන්තර්ගතය සත්‍ය වෙළඳපොළ වර්ධනයන් හා අපේක්ෂා සමඟ කිසිසේත්ම නොගැලපෙන බැවින් එය අනුමත කළ නොහැකිය.

Published Date: 

Thursday, November 21, 2019