කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100)1 වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2026 ජුනි මාසයේ දී වාර්තා වූ සියයට 6.8හි සිට 2026 ජූලි මාසයේ දී සියයට 7.3 දක්වා ඉහළ ගියේය. මෙයට ප්‍රධාන වශයෙන් හේතු වූයේ ආහාර නොවන කාණ්ඩයෙහි නිවාස කුලී සංශෝධනය සහ ආහාර උද්ධමනයේ සංඛ්‍යානමය පදනම් බලපෑමය. මේ අතර, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත, ආහාර උද්ධමනය 2026 ජුනි මාසයේ දී වාර්තා වූ සියයට 3.6හි සිට 2026 ජූලි මාසයේ දී සියයට 6.3 දක්වා ඉහළ ගිය අතර, එය මතුපිට උද්ධමනය ඉහළ යෑම සඳහා ප්‍රධාන වශයෙන් දායක විය. වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත, ආහාර නොවන උද්ධමනය 2026 ජුනි මාසයේ දී වාර්තා වූ සියයට 8.4හි සිට 2026 ජූලි මාසයේ දී සියයට 7.8 දක්වා පහළ ගියේය.
2026 ජූලි මාසයේ දී, කො.පා.මි.ද. මාසික පදනම මත සියයට 0.24කින් ඉහළ ගියේය. මෙම ඉහළ යෑම සඳහා ප්‍රධාන වශයෙන් ආහාර නොවන කාණ්ඩය ප්‍රතිශතාංක 0.23කින් දායක වූ අතර, එයට මූලික වශයෙන් නිවාස කුලී ගාස්තු ඉහළ යෑම හේතු විය. මේ අතර, ආහාර කාණ්ඩය මෙම වැඩිවීමට ප්‍රතිශතාංක 0.01ක සුළු දායකත්වයක් ලබා දුන්නේය.
මේ අතර, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මූලික උද්ධමනය 2026 ජුනි මාසයේ දී වාර්තා වූ සියයට 4.0හි සිට 2026 ජූලි මාසයේ දී සියයට 4.4ක් දක්වා ඉහළ ගියේය.
2026 වසරේ ජූලි මාසයේ මුදල් ප්‍රතිපත්ති වාරයේ දී පැවති තොරතුරු සහ උපකල්පන මත පදනම්ව සිදු කළ උද්ධමන පුරෝකථන මගින්, මතුපිට උද්ධමනය නුදුරු කාලීනව සියයට 5ක ඉලක්කගත මට්ටමට වඩා ඉහළ මට්ටමක පවතිනු ඇතැයි පෙන්නුම් කෙරෙන අතර, ඉන් අනතුරුව සුදුසු ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ගවල සහාය ඇතිව, මැදි කාලීනව යම් පහළ යෑමක් වාර්තා කරමින් උද්ධමන ඉලක්කය වටා ස්ථායී වනු ඇතැයි පෙන්නුම් කෙරේ. කෙසේ වුවද, මැදපෙරදිග කලාපයේ පවතින අර්බුදකාරී තත්ත්වයේ නිරන්තර වෙනස්වන ස්වභාවය සහ ගෝලීය මෙන්ම දේශීය ආර්ථික ක්‍රියාකාරකම් කෙරෙහි එමගින් ඇතිවන පුළුල් වක්‍ර බලපෑම් මධ්‍යයේ, දේශීය උද්ධමන ඉදිරි දැක්ම සඳහා ඉහළ අවිනිශ්චිතතා පවතී.








