Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

LANKAQR ජාතික සමාරම්භක උළෙල

ගරු වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමා විසින් “රටපුරාම LANKAQR“ ජාතික සමාරම්භක අවස්ථාව 2020 ඔක්තෝම්බර් මස 05 වන දින ශ්‍රී ලංකා මහ බැංකුවේදී සනිටුහන් කරන ලදී. ගරු මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්, ගරු සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌණ උපයෝගීතා රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සහ ගරු සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න යන අමාත්‍යවරු ද මෙම සමාරම්භක උළෙලට සහභාගී විය. ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්. ඩී. ලක්ෂ්මන් මහතා සහ මහා භාණ්ඩාගාරයේ ලේකම් එස්. ආර්. ආටිගල මහතා ඇතුළු මුදල් මණ්ඩලයේ සාමාජික මහත්ම මහත්මීන් ද සහභාගී විය.

රාජ්‍ය ආයතන, දෙපාර්තමේන්තු, බැංකු, ගෙවීම් සැපයුම් සේවා, වෙළඳ, සෞඛ්‍ය සහ මාධ්‍ය ආයතන නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ද මෙම අවස්ථාවට සහභාගී විය.

කල් පිරෙන එක්සත් ජනපද ඩොලර් බිලියනයක් වටිනා ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරයක් පියවීම ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව සාර්ථකව නිම කරයි

2020 ඔක්තෝබර් දෙවැනි දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ශ්‍රී ලංකා රජය වෙනුවෙන් කල් පිරෙන එක්සත් ජනපද ඩොලර් බිලියනයක් වටිනා ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරයක්, නියමිත කූපන ගෙවීම් ද සහිතව, පියවීම සාර්ථකව නිම කරන ලදී.

මෙම පියවීම මගින් විදේශීය වගකීම් නිසි ලෙස පියවීම සඳහා රජයේ නොසැලෙන කැපවීම නැවත තහවුරු කෙරෙන අතර, එමගින් ආයෝජකයින්ගේ විශ්වාසය ඉහළ නැංවීමත් ණය සේවාකරණය පිළිබඳව ඇති නොකැළැල් වාර්තාව එලෙසම පවත්වා ගෙන යාමට මෙරට රජයට ඇති හැකියාව සහ කැමැත්ත සම්බන්ධයෙන් විදේශ ආයෝජකයින්ට පැවතිය හැකි ගැටලු  දුරලීමත් සිදු කරයි. ශ්‍රී ලංකා ආර්ථිකයේ මෑත කාලීන ධනාත්මක වර්ධනයට සහ මෙම බැඳුම්කර පියවීමට මෙරට විදේශ විනිමය වෙළෙඳපොළ දැනටමත් ධනාත්මක ප්‍රතිචාර දක්වා ඇත. රජය සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගනු ලැබූ පූර්ව ක්‍රියාමාර්ගවල සහාය ඇතිව මෙරට විදේශ විනිමය වෙළෙඳපොළ වෙත ලැබෙතැයි අපේක්ෂිත ගලා ඒම් සමඟ ඉදිරි කාලය තුළදී වෙළෙඳපොළ විශ්වසනීයත්වය තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය 2020 සැප්තැම්බර් මාසයේ දී පහළ යන ලදී

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 අගෝස්තු මාසයේ පැවති සියයට 4.1හි සිට 2020 සැප්තැම්බර් මාසයේ දී සියයට 4.0 දක්වා සුළු වශයෙන් පහළ ගියේය. 2019 සැප්තැම්බර් මාසයේ පැවති ඉහළ පදනම් අගය හේතුවෙන් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා හේතු විය. ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2020 අගෝස්තු මාසයේ පැවති සියයට 12.3හි සිට 2020 සැප්තැම්බර් මාසයේ දී සියයට 11.5 දක්වා පහළ ගියේය. එසේ වුවද, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2020 අගෝස්තු මාසයේ පැවති සියයට 0.8හි සිට 2020 සැප්තැම්බර් මාසයේ දී සියයට 0.9 දක්වා ඉහළ ගියේය.

වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන කො.පා.මි දර්ශකයෙහි වෙනස ද, 2020 අගෝස්තු මාසයේ පැවති සියයට 4.8හි සිට 2020 සැප්තැම්බර් මාසයේ දී සියයට 4.7 දක්වා පහළ ගියේය.

මූඩීස් ඉන්වෙස්ටර්ස් සර්විස් ආයතනය මගින් ශ්‍රී ලංකාවේ ශ්‍රේණිගත කිරීම පහත හෙළීම සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාරය

මූඩීස් ඉන්වෙස්ටර්ස් සර්විස් ආයතනය විසින් ශ්‍රී ලංකාවේ ස්වෛරී ශ්‍රේණිගත කිරීම පිළිබඳ ව කරන ලද නිවේදනයෙන් පසු ව ඒ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය දැක්වූ ප්‍රතිචාරය පහත සබැඳියෙන් ලබා ගත හැක.

'ශ්‍රී ලංකා සමාජ ආර්ථික දත්ත - 2020' ප්‍රකාශනය නිකුත් වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ, 'ශ්‍රී ලංකා සමාජ ආර්ථික දත්ත - 2020' වාර්ෂික ප්‍රකාශනයේ 43 වෙනි වෙළුම පොදු මහජන පරිශීලනය සඳහා දැන් නිකුත් කර ඇත. 

පහසුවෙන් ගෙන යා හැකි අයුරින් සකස් කොට ඇති මෙම ප්‍රකාශනයෙහි, ශ්‍රී ලංකාවේ මූලික තොරතුරු, මූලික ආර්ථික දර්ශක, ලෝකයේ අනෙකුත් රටවල් සමඟ ශ්‍රී ලංකාවේ තත්ත්වය, සමාජ ආර්ථික තත්ත්වයන්, මානව සම්පත් තොරතුරු, ජාතික ගිණුම්, කෘෂිකර්මය, කර්මාන්ත, ආර්ථික හා සමාජ යටිතල පහසුකම්, මිල සහ වැටුප්, විදේශ වෙළඳාම සහ සංචාරක කර්මාන්තය, විදේශ මූල්‍ය, රාජ්‍ය මූල්‍ය කටයුතු, මූල්‍ය හා බැංකු  යන ශීර්ෂ 14 ක් යටතේ නවතම දත්ත ඇතුළත් වේ. 

ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය 2020 අගෝස්තු මාසයේ දී ඉහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (2013=100)  වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 ජූලි මාසයේ පැවති සියයට 6.1හි සිට 2020 අගෝස්තු මාසයේ දී සියයට 6.2 දක්වා සුළු වශයෙන් ඉහළ ගියේ ය. ආහාර සහ ආහාර නො වන කාණ්ඩයන්හි අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් මේ සඳහා හේතු විය. මේ අතර, 2020 ජූලි මාසයේ දී සියයට 12.9හි පැවති ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය, 2020 අගෝස්තු මාසයේ දී සියයට 13.2 දක්වා ඉහළ ගිය අතර, ආහාර නො වන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2020 ජූලි මාසයේ පැවති සියයට 1.0හි සිට 2020 අගෝස්තු මාසයේ දී සියයට 1.1 දක්වා ඉහළ ගියේ ය

Pages