Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

කො.පා.මි.ද. මත පදනම් වූ උද්ධමනය 2020 ජනවාරි මාසයේ දී ඉහළ යයි

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100)   ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2019 දෙසැම්බර් මාසයේ පැවති සියයට 4.8හි සිට 2020 ජනවාරි මාසයේ දී සියයට 5.7 දක්වා ඉහළ යන ලදී. ආහාර සහ ආහාර නොවන යන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ ඉහළ යෑම් මේ සඳහා දායක විය. ආහාර කාණ්ඩයෙහි ලක්ෂ්‍යමය උද්ධමනය 2019 දෙසැම්බර් මාසයේ දී පැවති සියයට 6.3හි සිට 2020 ජනවාරි මාසයේ දී මාස 25කින් වාර්තා වූ ඉහළම අගය වන සියයට 12.4 දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි ලක්ෂ්‍යමය උද්ධමනය සියයට 2.9ක් ලෙස වාර්තා විය. 

වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන කො.පා.මි දර්ශකයෙහි වෙනස, 2019 දෙසැම්බර් මාසයේ පැවති සියයට 4.3හි සිට 2020 ජනවාරි මාසයේ දී සියයට 4.5 දක්වා සුළු වශයෙන් ඉහළ ගියේය. 

ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතික අඩු කරයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, 2020 ජනවාරි 29 වැනි දින පැවති රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 6.50 සහ සියයට 7.50 දක්වා පදනම් අංක 50 කින් අඩු කිරීමට තීරණය කළේය. දැනට පවතින සහ අපේක්ෂිත දේශීය ආර්ථිකයේ, මූල්‍ය වෙළඳපොළෙහි මෙන්ම ගෝලීය ආර්ථිකයේ ප්‍රවණතාවන් මනාව සැලකිල්ලට ගනිමින් මුදල් මණ්ඩලය මෙම තීරණය ගනු ලැබීය. මැදි කාලීනව අපේක්ෂිත සියයට 4-6 පරාසය තුළ මනාව පාලනය වී ඇති උද්ධමන අපේක්ෂා සහිත වාතාවරණයක් තුළ, මෙම මුදල් ප්‍රතිපත්ති තීරණය මඟින් වෙළඳපොළ ණය අනුපාතික වල අඛණ්ඩ පහළයෑමට උපකාරී වන අතර, එමඟින් ආර්ථිකයේ අපේක්ෂිත යථා තත්ත්වයට පත්වීම සඳහා සහාය වනු ඇත.

2019 දෙසැම්බර් මාසයේ දී උද්ධමනය ඉහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013 = 100)   ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2019 නොවැම්බර් මාසයේ පැවති සියයට 4.1 හි සිට 2019 දෙසැම්බර් මාසයේ දී සියයට 6.2 දක්වා ඉහළ ගියේ ය. ආහාර කාණ්ඩයේ අයිතමවල මිල ගණන්හි සිදු වූ ඉහළ යෑම් සහ 2018 දෙසැම්බර් මාසයේ පැවති පහළ පදනම් අගය හේතුවෙන් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා දායක විය. ආහාර කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය 2019 නොවැම්බර් මාසයේ දී පැවති සියයට 4.0 හි සිට 2019 දෙසැම්බර් මාසයේ දී සියයට 8.6 දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගිය අතර, ආහාර නො වන කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය 2019 දෙසැම්බර් මාසයේ දී සියයට 4.2ක් ලෙස නො වෙනස් ව පැවතුණි. 

වෝහාරික විගණනයන්

වෝහාරික විගණනයන් පිළිබඳව මාධ්‍ය තුළ පළ වූ සමහර සාවද්‍ය තොරතුරු හේතුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් පහත කරුණු ඉදිරිපත් කරනු ලැබේ.

2019 නොවැම්බර් මාසයේ දී විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය

ආනයන සහ අපනයන අඩු වීම සමඟ 2019 නොවැම්බර් මාසයේදී වෙළඳ හිඟය පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට  සාපේක්ෂව සුළු වශයෙන් අඩු විය. ආනයන වියදම සැලකිය යුතු ලෙස අඩු වීම හා අපනයන ආදායම සුළු වශයෙන්  වැඩි වීම හේතුවෙන් 2019 වසරේ පළමු මාස එකොළහ තුළදී වෙළඳ හිඟය 2018 වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව අඩු විය. පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව 2019 වසරේ නොවැම්බර් මාසයේදී සංචාරක පැමිණීම්වල පහළ යෑමක් වාර්තා වුවද, සංචාරක කර්මාන්තය අඛණ්ඩව යථා තත්ත්වයට පත් ‌වෙමින් පවතී. 2019 වසරේ නොවැම්බර් මාසයේදී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ, පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව අඩු වූ අතර, 2019 වසරේ පළමු මාස එකොළහ තුළදී සමුච්චිත පදනම මතද අඩු වීමක් වාර්තා කළේය. මේ අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජ.මු.අරමුදලේ) විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනෙහි හත්වන වාරිකය ලැබීමත්, රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළ වෙත විදේශීය ශුද්ධ ලැබීම් වාර්තා වීමත් සමඟ ගෙවුම් තුලනයෙහි මූල්‍ය ගිණුම ශක්තිමත් විය. කෙසේ වෙතත්, මෙම මාසය තුළදී කොළඹ කොටස් වෙළඳපොළ වෙතින්  ශුද්ධ ගෙවීමක් වාර්තා විය. 2019 වසරේදී සහ 2020 වසරේ මේ දක්වා කාලපරිච්ඡේදය තුළදී ශ්‍රී ලංකා රුපියල එ.ජ. ඩොලරයට සාපේක්ෂව අතිප්‍රමාණය විය.

ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය - 2019 දෙසැම්බර්

2019 දෙසැම්බර් මාසයේ දී නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය අඩු වේගයකින් වර්ධනයක් පෙන්නුම් කරමින් දර්ශක අගය 54.3ක් ලෙස වාර්තා වූ අතර, නව ඇණවුම්, නිෂ්පාදන සහ සේවා නියුක්තියේ සිදු වූ මන්දගාමී වර්ධනය මේ සඳහා ප්‍රධාන වශයෙන් ම හේතු විය.

නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකයේ සියලු ම උප දර්ශක 2019 නොවැම්බර් මාසයට සාපේක්ෂ ව අඩු වේගයකින් වුව ද වර්ධනයක් පෙන්නුම් කළේ ය. නව ඇණවුම් සහ නිෂ්පාදන උප දර්ශක අඩු වේගයකින් ඉහළ යාම කෙරෙහි රෙදිපිළි හා ඇඟළුම් නිෂ්පාදන අංශයන්හි දක්නට ලැබුණු මන්දගාමී වර්ධනය ප්‍රධාන වශයෙන් හේතු විය. උත්සව සමයේ වඩා හොඳ වැටුප් සහිත තාවකාලික රැකියා සඳහා සමහර සේවකයින් යොමු වීම, විශේෂයෙන් ම රෙදිපිළි හා ඇඟළුම් නිෂ්පාදන අංශයන්හි රැකියා නියුක්තියේ සැළකිය යුතු අඩු වර්ධනය සඳහා ප්‍රධාන වශයෙන් හේතු විය. නිෂ්පාදනයේ අඩු වර්ධනය කෙරෙහි ද මෙම සේවා නියුක්තියේ දක්නට ලැබුණු මන්දගාමීත්වය යම් දුරකට බලපා ඇත.

Pages