Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය 2020 ජුනි මාසයේ දී තවදුරටත් පහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (2013 = 100) ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 මැයි මාසයේ පැවති සියයට 4.0හි සිට 2020 ජුනි මාසයේ දී සියයට 3.9 දක්වා පහළ ගිය අතර, 2019 ජුනි මාසයේ පැවති ඉහළ පදනම් අගය හේතුවෙන් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා පුර්ණ වශයෙන් දායක විය. ආහාර කාණ්ඩයෙහි ලක්ෂ්‍යමය උද්ධමනය 2020 මැයි මාසයේ පැවති සියයට 9.9හි සිට 2020 ජුනි මාසයේ දී සියයට 10.0 දක්වා ඉහළ ගියේ ය. මේ අත‍ර, ආහාර නො වන කාණ්ඩයෙහි ලක්ෂ්‍යමය උද්ධමනය 2020 මැයි මාසයේ පැවති සියයට 1.6හි සිට 2020 ජුනි මාසයේ දී සියයට 1.4 දක්වා පහළ ගියේ ය.

වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වෙනස, 2020 ජුනි මාසයේ දී සියයට 4.7 ක් ලෙස නො වෙනස් ව පැවතුණි.

ශ්‍රී ලංකා මහ බැංකුව කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් වූ ව්‍යාපාර සඳහා ණය ඇප ආවරණ සහ පොලී සහන ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2020 ජුනි මස 26 දින පැවති රැස්වීමේ දී කොරෝනා වසංගතය හේතුවෙන් පීඩාවට පත් ව්‍යාපාරවලට බැංකු විසින් ලබා දෙනු ලබන ණය පහසුකම් කඩිනම් කිරීම සඳහා ණය ඇප ආවරණ සහ පොලී සහන ණය යෝජනා ක්‍රමයක් හදුන්වා දීමට තීරණය කළේ ය. දැනට ප්‍රකාශයට පත් කර ඇති රුපියල් බිලියන 150ක සීමාව තුළ 'සෞභාග්‍යා COVID – 19 පුනරුද සහන' ණය යෝජනා ක්‍රමය සහ මුදල් නීති පනතෙහි 83 වන වගන්තියට අනුව මුදල් මණ්ඩලය විසින් අනුමත කළ සහන ණය පහසුකමට සමගාමී ව, 2020 ජුලි 1 වැනිදා සිට මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරනු ඇත.

ද ෆිනෑන්ස් කොම්පැනි පී.එල්.සී ආයතනයේ තැන්පත්කරුවන්ට රක්ෂණ වන්දි මුදල් ගෙවීම - දෙවැනි අදියර

ද ෆිනෑන්ස් කොම්පැනි පී.එල්.සී. ආයතනයේ තැන්පත්කරුවන් වෙත රක්ෂණ වන්දි ගෙවීමේ වැඩසටහනෙහි දෙවැනි අදියර 2020.07.02 වැනි දින සිට ආරම්භ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු යොදා ඇත. එම ගෙවීම් එදින සිට දිවයින පුරා පිහිටි මහජන බැංකු ශාඛා 63ක් මගින් සිදු කෙරෙනු ඇත. මෙම රක්ෂණ වන්දි ගෙවීමේ ක්‍රමවේදය යටතේ එක් තැන්පත්කරුවෙකු සඳහා ගෙවනු ලබන උපරිම මුදල රුපියල් 600,000/-කි.

මෙම දෙවැනි අදියර ක්‍රියාත්මක කිරීමත් සමඟ ද ෆිනෑන්ස් කොම්පැනි පී.එල්.සී. විසින් ගෙවීම් තහවුරු කරනු ලැබූ අනෙකුත් සියලු ම තැන්පත්කරුවන්ට ගෙවීම් කිරීම 2020.07.02 දින සිට ආරම්භ කරනු ඇත. 

බැංකු නො වන මූල්‍ය ආයතන නියාමනය හා අධීක්ෂණය පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රකාශය

2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ලියාපදිංචි වු බලපත්‍රලාභී මූල්‍ය සමාගම් කිහිපයක අසාර්ථකත්වය සහ පසු ව බලපත්‍රය අහෝසි කිරීමේ වගකීම ශ්‍රී ලංකා මහ බැංකුව වෙත පැවරූ මාධ්‍ය වාර්තා කිහිපයක් මෑත කාලීන ව නිරීක්ෂණය විය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මූලික පරමාර්ථයක් වන මූල්‍ය පද්ධතියේ ස්ථායිතාව පවත්වා ගැනීම සහ බලපත්‍රලාභී මුදල් සමාගම්වල ස්ථායිතාව ශක්තිමත් කිරීම සහතික කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව බලපත්‍රලාභී මුදල් සමාගම් නියාමනය සහ අධීක්ෂණය කරනු ලැබේ. අවම ප්‍රාග්ධනය, අවම ද්‍රවශීලතාව සහ ප්‍රතිපාදන වෙන් කිරීම්, කේන්ද්‍රගත වීමේ අවධානම (Concerntration Risk) සහ සාංගමික යහපාලන අවශ්‍යතා (Corporate Governance Requirements) මගින් එම ස්ථායිතාව සහතික කරනු ලැබේ.

වසංගත සමයේ මහ බැංකු මෙහෙවර සහ එමගින් මහජනතාවට ලැබුණු සහන හා ප්‍රතිලාභ: කොවිඩ් -19 අභියෝගය හමුවේ ශ්‍රී ලංකා මහ බැංකුව සිදු කළේ මොනවා ද?

කොවිඩ්-19 ගෝලීය වසංගතයේ අභියෝගය සාර්ථකව මැඩ පැවැත්වීම සඳහා වූ රජයේ පැහැදිලි හා කඩිනම් වැඩපිළිවෙල සමග එක් වූ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එම ගෝලීය වසංගතයෙන් ආර්ථිකයට එල්ල වන දැඩි බලපෑම අවම කිරීම සඳහා කඩිනම් වූත්, තිරසාර වූත් පිළියම් සහ පියවර රැසක් හඳුන්වා දෙන ලදි. ශ්‍රී ලංකා මහ බැංකුවේ එම ක්ෂණික ධනාත්මක ප්‍රතිචාරය, ලොව පුරා මහ බැංකුවල ක්‍රියාකාරකම් පිළිබඳව නිරන්තර විමසුමෙ‍න් සිටින ජාත්‍යන්තර මාධ්‍ය මගින් පවා පැසසුමට ලක් කරනු ලැබිණි. උදාහරණ වශයෙන් “කොරෝනා වයිරසයෙන් මූල්‍ය වෙළඳපොළට සිදු වන බලපෑම් හඳුනාගෙන ජනතාවට සහන සැලසීම සඳහා මුලින් ම ප්‍රතිපත්තිමය පොලී අනුපාතික අඩු කළ මහ බැංකුව” ලෙස “www.centralbanknews.info” වැනි මාධ්‍ය විසින් ශ්‍රී ලංකා මහ බැංකුව නම් කර තිබීම දැක්විය හැකි ය.   

මහ බැංකුව කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් වූ ව්‍යාපාර සඳහා 4%ක පොලී අනුපාතිකයක් යටතේ ව්‍යාපාර 13,861ක් සඳහා රුපියල් බිලියන 28ක මුදලක් අනුමත කරයි

කොරෝනා වසංගතය හේතුවෙන් පීඩාවට පත් වූ ව්‍යාපාර පුනර්ජීවනය කිරීම හා රටේ ආර්ථික කටයුතු යළි ගොඩ නැංවීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව, රජය හා එක්ව සෞභාග්‍යා ණය යෝජනා ක්‍රමය යටතේ නවමු ව්‍යාපෘතියක් ලෙස “සෞභාග්‍යා COVID – 19 පුනරුද සහන“ ප්‍රතිමූල්‍ය පහසුකම 2020 මාර්තු මස 24 වන දින ප්‍රකාශයට පත් කළේය.

Pages