කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය 2020 ඔක්තෝබර් මාසයේ දී නො වෙනස්ව සියයට 4හි ම

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (2013 = 100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 ඔක්තෝබර් මාසයේ දී සියයට 4.0හි නො වෙනස් ව පැවති අතර, 2019 ඔක්තෝබර් මාසයේ පැවති ඉහළ පදනම් අගය හේතුවෙන් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා හේතු විය. මේ අතර, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2020 සැප්තැම්බර් මාසයේ පැවති සියයට 11.5හි සිට 2020 ඔක්තෝබර් මාසයේ දී සියයට 10.0 දක්වා පහළ ගිය නමුත්, ආහාර නො වන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2020 සැප්තැම්බර් මාසයේ පැවති සියයට 0.9හි සිට 2020 ඔක්තෝබර් මාසයේ දී සියයට 1.3 දක්වා ඉහළ ගියේ ය.

වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වෙනස 2020 සැප්තැම්බර් මාසයේ පැවති සියයට 4.7හි සිට 2020 ඔක්තෝබර් මාසයේ දී සියයට 4.6 දක්වා සුළු වශයෙන් පහළ ගියේ ය.

2020 ඔක්තෝබර් මාසයේ දී කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි මාසික වෙනස සියයට 0.1ක් ලෙස වාර්තා විය. ආහාර කාණ්ඩයෙහි අයිතමවල මිල ගණන්හි සිදු වූ ඉහළ යෑම මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු විය. ඒ අනුව, 2020 ඔක්තෝබර් මාසයේ දී ආහාර කාණ්ඩයෙහි ලොකු ළූණු, සහල් සහ කහ කුඩු මිල ගණන් ඉහළ ගියේ ය. එසේ වුව ද, පළතුරු, කුකුල් මස් සහ බිත්තර මිල ගණන්හි පහළ යෑමක් වාර්තා විය.

ආර්ථිකයෙහි යටිදැරි උද්ධමනය නිරූපණය කරන වාර්ෂික ලක්ෂ්‍යමය මූලික උද්ධමනය, 2020 සැප්තැම්බර් මාසයේ දී පැවති සියයට 2.9හි සිට 2020 ඔක්තෝබර් මාසයේ දී සියයට 3.0 දක්වා සුළු වශයෙන් ඉහළ ගියේ ය. එසේ වුව ද, වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය 2020 සැප්තැම්බර් මාසයේ දී පැවති සියයට 3.6හි සිට 2020 ඔක්තෝබර් මාසයේ දී සියයට 3.4 දක්වා පහළ ගියේ ය.

සම්පුර්ණ ලිපිය

 

Published Date: 

Thursday, October 29, 2020